Wednesday, February 13, 2013

අපි ආයෙත් හමු නොවුණා නම්

අපි ආයෙත් හමු නොවුණා නම්...෴

අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්

ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ
__________________
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය - සෝමතිලක ජයමහ

දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රචකයා ඒ ගැන මෙසේ සඳහන් කරයි.

”දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ”

(ගායනය වික්ටර් රත්නායක)

දෛවයේ වරදින් හෝ අන් කවර හේතුවකින් හෝ බිඳ වැටුණු ආදර සබඳතා තුළින් ඇතැම් විට දෙදෙනා ම දුක් විඳිති. ඇතැම්විට එකකු පමණක් දුක් විඳියි. මේ සියල්ල සාමාන්‍යයෙන් නිතර අපට දක්නට ලැබෙන සිදුවීම් ය.

එහෙත් දෛවය ඇතැම්විට ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන අවස්ථා දක්නට හැකිය. අජන්තා රණසිංහයන් පසුබිම් කරගෙන ඇත්තේ එබඳු දෛවයේ කුරිරු සරදමකි.

”අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදි මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්”

මෙහිදී අපට මුණ ගැසෙන්නේ පරාජිත පෙම්වතෙකි. ඔහු වරෙක ප්‍රේමයෙන් පරාජිතයකු බවට පත්වුවද කාලයාගේ ඇවෑමෙන් අසීරුවෙන් හිත හදා ගනියි. බොහෝ හිත් වේදනා පහකර දැමීමට කාලය තරම් ඔසුවක් තවත් නොමැත. ඔහුගේ සිතේ තැළුණු රිදුණු තැන් සුවපත් කර කාලය විසින් මේ පුද්ගලයාගේ අඳුරු අතීතය වල දමා තිබිණි.

පරාජිත ප්‍රේමය පමණක් නොව තමා ආකර්ෂණය වූ සොඳුරු රූ සපුව පවා කාලය විසින් මකා දමමින් තිබිණි. එහෙත් නොසිතූ නොපැතූ මොහොතක, ඔහුට ඇය යළිත් මුණ ගැසෙයි. අසීරුවෙන් යටපත් කරගෙන සිටි සියලු හැඟීම් යළිත් ඇය දර්ශනය වීමත් සමඟ ඉස්මතු වෙයි. සුවපත් වී තිබුණු තුවාලය යළිඳු පෑරෙයි.

මේ කතකයා පවසන්නේ විරහ වේදනාව ඇය අඳුනාගෙන නොමැති බවයි. තම ආදරයට පිටුපා කලකට පෙර ඈත් වී ගිය ඇය කිසිදා විරහ වේදනාව නාඳුනන බවත් එය අඳුනන්නේ තමා පමණක් බව ඔහු ප්‍රකාශ කරයි. දෛවය කෙතරම් කුරිරු වීද යත් එකම විරහ වේදනාව ඔහුට දෙවරක් විඳින්නට සිදුවෙයි.

ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

පදමාලාව සරල වුවද මේ මඟින් විවරණය වන මිනිස් හැඟීම් පිළිබඳ කතාන්දරය ඉතා ගැඹුරු ය. මක්නිසාද ආදරය තරම් හදවත් කම්පනය කරවන සංකීර්ණ හැඟීමක් තවත් නොමැති බැවිනි. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්දා සිට සිහින දකින්නට පටන්ගන්නට ඇත. ඔහු තම අනාගතය පිළිබඳ ව සියලු සැලසුම් සකස් කරන්නට ඇත්තේ ඇය මුල් කරගෙන ය. ලෝකය ම ඔවුන් ගේ සබඳකම දැන සිටින්නට ඇත. එහෙත් ඒ සියල්, ම ආයාසයෙන් අමතක කර දමමින් සිටින මොහොතක ඔහු වඩාත් ම ආදරය කරන රුව නැවතත් දර්ශනය වීම ඔහු තුළ විශාල කැලඹීමක් ඇති කිරීම සාධාරණ ය.

මට මගේ භද්‍ර යෞවනය සිහිවෙයි. කලකට ඉහත එක්තරා යුවතියක කෙරෙහි මම වැඩි ඇල්මක් දක්වමින් සිටියෙමි. එය ප්‍රේම සබඳකමක් තරම් දුරදිග නොගිය ද ඇගේ දසුන මට ඉතා පි‍්‍රයවිය. මා උදෑසන අවදිවන්නේ ඇගේ රුව දෑසේ ඇඳගනිමින. නින්දට යන්නේ ද ඈ පිළිබඳ ආදරණීය සිතුවිලි සමඟයි. එහෙත් යම් හේතු රාශියක් නිසා ඇයට සමීප වීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් ඇය දැකීමෙන් ද ඈ සමඟ කතා කිරීමෙන් ද මම මහත් ආස්වාදයක් ලැබුවෙමි. හිටි හැටියේ ම දුර පළාතකට වෙන්වයාම නිසා ඈ මගෙන් දුරස් විය. ප්‍රේම සබඳතාවක් නොමැති ව වුවද ඒ දුරස්වීමෙන්ලද වේදනාව මට තාමත් හොඳින් මතක ය. මුල් දින කිහිපයේ මට දැනුණේ විශාල ගලක් මගේ හදවත තුළ සිරවී තිබෙන්නාක් මෙනි. මගේ සටහන් පොතක මහගම සේකරයන් ගේ කවියක් මම ලියා තැබීම.

අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැගිණ

(මහගම සේකර)

මෙවැනි කවි කීපයක් ම සටහන් පොත් අතර ලියා තැබුවා මට මතක ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ටිකින් ටික මා තුළ පැවැති වේදනාව තුරන්වන්නට විය.

මේ සියල්ල ම අමතක වෙමින් සිටියදී වරෙක ඇය හදිසියේ ම දර්ශනය විය. පසු ව නිරන්තරයෙන් ඇස දකින අඩවියකට ඇය පැමිණ තිබිණි. පැරණි වේදනාව මා තුළ වෙනදාටත් වඩා වැඩියෙන් මතුවන්නට විය. එක්තරා රාත්‍රියක මම ඒ වේදනාව පත් ඉරුවක කුරුටු ගෑවෙමි.

”ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරයි
ඔබ ආයෙමත් ඇවිදින්”
උන්නු දා පෙර අත පොවන්නට

බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද
කොයි තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

පසු ව එය අමරසිරි පීරිස් විසින් ගායනා කරන ලදී. හමුවීම් හා වෙන්වීම් වල ස්වභාවය එයයි. ඒ රිදෙන තැන් සොයා යාමට මේ ගීතයේ රචකයා මැනැවින් සමත්වෙයි. රිදෙන තැන් පහසුවෙන් සොයාගත හැකිවන්නේ ඒ රිදුම් වලින් තැළුණු හිත් ඇති මිනිසුන්ට ය. එවිට එය කාටත් සමීප විය හැකි අව්‍යාජ නිර්මාණයක් බවට පත්වෙයි. ඒ අව්‍යාජත්වය මේ නිර්මාණයේ මනා ව ගැබ් ව පවතී. මේ හමුවීම තමන්ට කෙතරම් වේදනාවක් ද යන්න රචකයා තම නිර්මාණය අවසන් කරන ආකාරයෙන් පැහැදිලි වෙයි.

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළෙන් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ...

කෙතරම් මේ සොඳුරු දර්ශනය ඇසට ගැටුණ ද, ආදරය අහිමි නම් මේ හමුවීම් වල අරුතක් නොමැති බව රචකයා දැනුවත් කරයි. එසේම ඔහු පවසන්නේ ආදරයේ කඳුළෙන් ම මියයාම, තම ජීවිතයේ ඉරණම බවයි. දෛවය දිගින්දිගට ම තමාට දඬුවම් දීම නිසා ඔහු ගේ් හදවත තදින් පැරී ඇති බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.

එක්තරා රුසියානු කෙටිකතාවක් මට මේ මොහොතේ දී සිහිපත් වෙයි. එනම් ඇලෙක්සැන්ඩර් කුප්රින් නම් වූ ලේඛකයාගේ “රන්මිණි වැල්ල” නැමැති කෙටිකතාවයි. මෙහි ප්‍රධාන චරිතය මිය යන්නේ ආදරයේ කඳුළෙනි. විවාහක ස්ත්‍රියකට තම සිතින් ආලය කරන ඔහු ඇගේ සෑම උපන්දිනයකදීම ඇයට වටිනා ත්‍යාගයක් තැපැල් කර යවයි. ඇය කෙදිනක හෝ ඔහු දැක නොමැත. ඇගේ සැමියා වරෙක ඔහු සොයා ගොස් තර්ජනය කරයි.

එහෙත් මේ නොදුටු පුද්ගලයා සොයාගෙන යන්නට ඇය තීරණය කරයි. ඇය ඔහු සොයා ගන්නා විට ඔහු මිය ගොසිනි. එහෙත් ගැහැනියක් ඔහු සොයා පැමිණිය හොත් ඇයට දෙන ලෙසට ලිපියක් ඔහු නිවසේ අයිතිකරුට දී තිබිණි. ඒ ලිපියේ තිබුණේ මහා සංගීතඥ බිතෝවන් ගේ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරයකි. තමා තුළ ඇයට තිබූ ආදරය හඳුනාගන්නට නම් ඒ සංගීත ඛණ්ඩය පියානෝවකින් වාදනය කරවා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිට තිබිණි. ආදරය එවැනි පුදුමාකාර හැඟීම්වලින් සමන්විත ය.

මේ ගීතය ගැයෙන්නාවූ හඬ ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයට සුවිශේෂ වූ හඬකි. එසේම ඔහු සුවිශේෂ කලාකරුවෙකි. ගීත රචනය, තනු නිර්මාණය හා ගායනය යන සෑම ක්ෂේත්‍රයක් තුළ ම විහිදී ගිය පුළුල් ප්‍රතිභාවක් ජයමහ සතු ව පවතී.

”සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට” වැනි නිර්මාණයක් හැදෑරීම ඒ සඳහා ප්‍රමාණවත් ය.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදමාලාව වත්මන් ගීත නිබන්ධකයන්ට නිහඬ උපදේශ ගණනාවක් සපයයි. ගීත පදමාලාවක් යනු වචන ගොඩක් නොව සංක්‍ෂිප්ත පබැඳුමක් බව ඔහු අපට ප්‍රදර්ශනය කර තිබේ.

විරහ වේදනාව පිළිබඳ හෙට දවසේත් අප්‍රමාණ නිර්මාණ බිහිවනු ඇත. මේ ලියන මොහොතේ ද, කොතැනක හෝ කවියකු ආදරයේ විරහ වේදනාව පත් ඉරුවක කුරුටු ගාමින් සිටිනු ඇත. එසේ ම කවුරුන් හෝ ඒ වේදනාව අත්විඳිමින් සිටිනු ඇත. සෝමතිලක ජයමහගේ මේ ගීතය ගුවනින් ප්‍රචාරය වන මොහොතක එය සවන් වැකෙන හදවතක්, ආදරය මිහිරි වේදනාවක් බව වඩාත් හොඳින් පසක් කරගනු ඇත. ඔහුගේ මිහිරි වේදනාව මම ද ඔවුන් සමඟින් විඳ ගනිමි.

රූස්ස ගහ ළඟ පාළු මාවතේ

ඡායාවකි එය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුණා

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්නේ

එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන්කළ

පාරුව පෙර මෙන් ගහ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා
_______________________
පද රචනය - උපාලි ධනවල විතාන
ගායනය - විජය කුමාරණතුංග
සංගීතය - සරත් දසනායක

මේ ගීතය මා තෝරාගත්තේ පද රචනාවක අසිරිය ඔබ සමඟ බෙදාගන්නට ම නොවේ. අප අතරින් මැකී ගිය අමරණීය හඬක් සිහිගන්වමින් ශෝකයෙන් උපත ලබන මතක ආස්වාදයක යෙදීමටයි. මොහොතකට මම විජය කුමාරණතුංගයන් ගේ දේශපාලන චරිතය අමතක කරමි. ඒ මා ඔහුගේ දේශපාලනය ප්‍රතික්‍ෂේප කරන නිසා නොවේ.

දේශපාලනයේ දී විජය අයිති වූයේ එක්තරා පිරිසකට පමණි. එහෙත් කලා ලෝකයේදී විජය අප සියලු දෙනාගේ ම ආදරණීය කලාකරුවෙකි. ආදරණීය මිනිසෙකි. ඒ නිසා “දඟගෙයි දඬුවම්” වැනි නිර්මාණයක් හිතාමතාම මඟ හැර කලාතුරකින්වත් අපේ නාලිකාවල අද නෑසෙන මේ ශෝකී ගීතය තෝරා ගතිමි.

සමාජයෙ හි මෙන්ම කලාකෘතීන්හි ද සියල්ල අභිබවා ගෙන විජය නැමැති මිනිසා මතුවන නිසා මම ඔහු ගැන වචන කීපයක් සටහන් කරමි.

විජය වැනි මිනිසකු යළි ශ්‍රී ලංකාවේ උපදී යැයි මම විශ්වාස නොකරමි. ආකර්ෂණීය සුන්දර බව, මිනිස් කම, රංගනය, කටහඬ, ගායනය, කථිකත්වය, පෞර්ෂත්වය ආදි සියල්ල මිනිසකුට එක්වර දායාද කරන්නේ ඉතා කලාතුරකිනි. වාසනාවට හෝ අවාසනාවට විජයට ඒ සියල්ල පිහිටා තිබිණි. ඔහු වැන්නකුට වෙඩිතබා මරා දැමිය හැක්කේ, ඊර්ෂ්‍යාවෙන් අන්ධ වූ ම්ලෙච්ඡ ඝාතකයකුට හෝ උන්මත්තකයකුට පමණි. එහෙත් සියල්ල සිදු වී අවසන් ය.

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ

විජයගේ කටහඬට යටින් ඇති පදපෙළ රොමැන්ටික් දර්ශනයෙන් පෝෂණය ලද පද පෙළකි. කළු ගඟ අයිනේ පාළු මාවතක හුදෙකලාව සිටින මිනිසකු අපේ මනසේ ඇදී යයි. කළු ගඟ දෑලට කළුවර වැටී ඇති මොහොතක ඔහුට ඔහුගේ නම කියා කව්දෝ අමතනු ඇසෙයි. පාළු පරිසරය ඒ හඬේ දෝංකාරයෙන් සසල වෙයි. තරුණයකු ගේ හද සසල කරවන වියෝ වූ ආදරයක දෝංකාරය රචකයා රසිකයා ඉදිරියේ මවන්නේ ඒ අයුරිනි.

වියෝ දුක වූ කලී වියෝ දුකක් ම ය. එය අප අත් විඳින්නේ යථාර්ථයෙන් බැහැරවයි. අප ආදරය කළ රූප ඡායා ඕනෑ ම මොහොතක අප අවට දැකිය හැකි ය. අපට මවාගත හැකි ය. රචකයා තෝරාගන්නේ එවැනි රූප ඡායා කලාත්මක ව මැවිය හැකි හුදෙකලා අද්භූත පරිසරයකි. එය රෑ මැදියමේ දකින සිහිනයක් හා සමාන ය. සෞන්දර්යය යනු එයයි.

එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
ඔබ මා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ

ආදරය යනු මායාවන්ගේ උපතයි. සිත දිව යන්නේ ඈත ගම්මානයකටයි. පාරුව පැදීම යථාර්ථයක් හෝ කල්පිතයක් විය හැකි ය. පැරණි වැඩවසම් ගම්මානයක එය යථාර්ථයක්ද විය හැකි ය. ගඟේ පාරුව මෙන්ම ජීවිතයේ පාරුවද ඇය ඔහු වෙත පදවයි. එහෙත් මේ තොටුපළ ඔවුන්ගේ කඳුළු තොටුපළකි. ඇය මේ තොටුපළේ පාරුව පෙරළී ගිලී මිය ගියා විය නොහැකි ද? මේ මඟින් සංකේතාර්ථ බැහැර කොට එවැනි සිද්ධියක් යථාර්ථය කොට ගතහොත් මේ ගීතය තුළ පවතින රොමැන්ටික් සෞන්දර්යය අපරිමිත ය. මට මඩවල රත්නායකයන්ගේ නිර්මාණයක් සිහිවෙයි.

”තොටමුණ බඩ සිටි රුවන් මලී
ගඟ බිලිගත් මගෙ රුවන් මලී
ගමට සිටිය එක රුවන් මලී
ගමට වරෙන් අද රුවන් මලී”

(ගායනය, පණ්ඩිත් අමරදේව)

පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් ම ය. ඒ පි‍්‍රයයන් හා බැඳුණ භෞතික සිද්ධාන්ත හදවත් පාරවන ආකාරය අරුම පුදුම ය.

මේ භෞතික සිද්ධාන්ත විටෙක අභෞතික වන්නේ ය. දෘෂ්‍යමාන ලෝකයේ අදෘශ්‍යමාන ලෙස පි‍්‍රයයන්ගේ ඡායාවන් මැවැන්නේ එබැවිනි. නැවත වරක් මට “රුවන්මලී” ගීතය සිහිවෙයි. ගඟ බිලිගත් රුවන්මලීට ආදරය කළ තරුණයා සවස්යාමයක ගං ඉවුරට පිවිසෙයි. එවිට ඔහු දකින මනෝමය සිත්තම් මඩවල රත්නායකයන් චිත්‍රයට නඟන්නේ මෙසේය.

"ඉර අවරට යන සැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුඳුන් වලින්
සිහින් වළාවක් හෙමින් ඇවිල්ලා
මේ තොටමුණ ළඟ ලැඟුම් ගනී
සුදු ඔසරිය ඇඳ වළා පෙළෙන් බැස
රුවන් මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුළෙ තබාගෙන
හෙමින් හෙමින් පා නඟණු පෙනේ"

(මඩවල එස්. රත්නායක)

මෙම නිර්මාණයේ දී රුවන්මලීට ආදරය කළ යෞවනයා දකිනුයේ කුමක් ද? රුවන්මලී දුම්බර කඳුවැටි මුදුන්වල ගැටෙන සුදු වලාකුළකින් බැස තොටමුණ දෙසට ඇදී දිය ගෙනයන ආකාරයයි. දියේ ගිලී මියගිය රුවන්මලී පිළිබඳ ව දකින සිහින මායාවන් හා සමාන මායාවන් මේ නිර්මාණයේ ද රචකයා යොදා ගනී. එවැනි මායා රූප යොදා ගැනීමෙන් ශෝක රසය ප්‍රබල ව උද්දීපනය කළ හැකිය.

"පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසල ම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා...."

ගඟ දිය මත සෙවණැලි පමණක් ඉතිරිකොට ඇය ද ගඟ දියයට සැඟ ව ගොසින්. මේ සංසාරයේ ඇය නැවත මුණ නොගැසෙන්නේ ය යන යථාර්ථයට මේ තරුණයාට අකමැත්තෙන් හෝ මුහුණ දෙන්නට සිදුවෙයි. රූස්ස ගහ, පාළු මාවත, කළු ගඟ, සැඳෑකළුවර, ඒ මැදින් ඇදෙන පාරුව වැනි චිත්ත රූප නිසා පාළුව හා ශෝකය තව තවත් වර්ධනය වේ.

මෙහි සංගීතය වූ කලී පදමාලාව තවදුරටත් පෝෂණය කරන්නකි. සරත් දසනායකයෝ මේ සඳහා ජනගී, පාරු කවි ආදියෙහි පවතින වැලපුම් විරිත් වල ආභාසය ලබා තිබේ.

විජය කුමාරණතුංග ගැන නැවත මම කිසිවක් නොලියමි. එහෙත් රිදී තිරය බැබළ වූ විජය, දුලබ හඬකින් ගී ගැයූ විජය, සසර පුරාවට ඈතට ඇඳුණු බව දැනෙන වාරයක් පාසා දැනෙන වේදනාව මේ කාලකණ්ණි සමාජයට ශාප කරන්නට හැකි තරම් බරපතළ ය. විජය ඔබ යළිත් අප අතර උපදින්නට එපා.

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සිහිනය මිය යා යුතු ද මේ ලෙසින්..?

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිමි
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
__________________
පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
ගැයුම - ප්‍රදීපා ධර්මදාස සමඟ ලක්ෂ්මන් විජේසේකර

මේ මහා විශ්වය විස්මිතය. එතුළ ගැබ්ව ඇති ආදරය නම් හැඟීම සුන්දරය. මේ සුන්දරත්වය එකම විශ්වීය මායා ජාලයකි. සොබා දහමේ සැබෑ සොඳුරු බව දකින්නට පවා ආදරයේ ඇස් ඕනෑ කෙරේ.

ආදරයේ ඇස්වලට ආපු විරහ කඳුළේ සොඳුරු පටලය ලෝකයේ මේ සොඳුරු බව දකින්නට තුන් වැනි ඇසකට කාචයක් තනා දෙතැයි මට සිතෙයි. ලොවේ සොඳුරු බව ඒ තුන්වැනි ඇසට කවදාවත් මුවා නොවෙයි.

නමුත් ආදරයට එහා නොගිය ආදරයට - මෙහා නොවන තවත් අපූරු හැඟුමක් ලෝකයේ තිබෙයි. මේ සොඳුරු ළෙන්ගතුකමේ අරුත සපුරාම හකුළුවා ලන වචනය ‘මිතුරුදම’ යැයි කියන්නත් බැරි ය. මක්නිසා ද එහි අරුත මිතුරු දමකට වඩා සියුම් වන බැවින් ය. ඊට වඩා උතුම් වන බැවින් ය.

ප්‍රේමය පිළිබඳ ව විරෝධාකල්ප නිර්මාණයෙන් ද අතරින් පතර මුණ ගැසෙති. හැත්තෑව දශකයේ ගැයුණු එබඳු නිර්මාණයක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

“මං හින්දා ඔබ නෙතඟින් කඳුළක්
හෙළන් නෙපා
මං හින්දා ඔබ හද තුළ සුසුමන්
නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවළක් සේ කිසිදා එක් නොවනා

(ගුණදාස කපුගේ සමඟ මාලිනි බුලත්සිංහල)

එසේම ගුණදාස කපුගේ සහ නන්දා මාලිනිය ගැයූ පහත සඳහන් පදමාලාව ද එබන්දකි.

පි - බිරිඳ මගේ ඔබ
ගැ - නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයෙකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ

මේ ගී දහරාව අතර, එඩ්වඩ් ජයකොඩි නන්දා මාලිනී ගැයූ ‘විසඳුමක් නැත ලෝකයෙන්’ නැමැති ගීත ය ද බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නද කොහේ ඉන්නද? වැනි ගීත ද සදා සිහිවටන ලෙස පවතී. එසේ ම අජන්තා රණසිංහයන්ගේ පහත සඳහන් පදමාලාව ද ප්‍රේමය පිළිබඳ නව්‍යතම ආකල්පයකි.

“පාරමී දම් පුරමු අප දෙන්නා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මවු කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙන්නා”

දෙදෙනෙකු අතර ඇතිවන්නට හැකි උතුම්ම බැඳීම මේ ළෙන්ගතුකම යැයි සිතන්නට පුළුවන් ය. අපේ සංස්කෘතිය අනුව ගැහැනියක හා පිරිමියකු අතර මේ ළෙන්ගතුකම දිහා වපර ඇස’කින් බැලෙන්නට කාරණා ඇත. නමුත් ආදරයට වඩා සුපවිත්‍ර වූ සුනිර්මල වූ හැඟීමක් ලෙස ඒ ළෙන්ගතුකම නිර්වචනය කරනු කැමැත්තෙමි. ‘ආදරයට අනුරාගය මුසුවෙයි. අනුරාගය කෙළෙස් හැඟීමකි. නමුත් මේ ළෙන්ගතුකම තුළ ඒ කිළිටි ගෑවිලාවත් නැත. උදෑසන පිනිකැටයක් සේ එය සැහැල්ලු ය. විනිවිද පෙනේ. දුක හෝ සතුට සමව බෙදාගැනේ. රාගික චේතනාවෙන් තමාගේ ඉඳුරන් සන්තර්පනය කරගන්නා රාගය වැනි අශ්ලීල හැඟීමක් මෙහි නොවෙයි.

ඔබත් මාත් අතර ඇත්තේ එවැනි හැඟීමක් යැයි මම අදහමි. එය මේ ලෝකයේ ඇති සුන්දරම හැඟීම ය. අබමල් රේණුවක් තරම්වත් මේ හැඟීමේ උත්තරීතරත්වය කෙළෙසන්නට එපාම ය. අපි දෙදෙනා ආදරවන්තයන් නොවෙමු. නමුත් අප එකිනෙකාට ආදෙර්ය. ඔබ මගේ ය. මා ඔබගේ ය

මේ ප්‍රේමයේ විකල්ප ගී දහරාව අතරට අසූව දශකයේ එක් වූ අපූර්ව ගීයක් ලෙසින් ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර ගයන ‘සුපෙම් හැඟුම්’ නැමැති ගීතය එක් කළ හැකි ය.

මෙහිදී තරුණයා ගේ ප්‍රේමය ප්‍රතික්ෂේපිත ප්‍රේමයක් බවට පත් වෙයි. එහෙත් ඇය ඔහුගෙන් දුරස්වීමට උත්සාහ නොගනියි. ඈ තුළ මිතුරු දමක් ඉතිරි ව පවතී. ඒ මිතුරු බවේ නාමයෙන් ඇය ඔහුට පෙම්වතියක් නොවුණ ද මඟ පෙන්වන්නියක් බවට පත් වීමට උත්සාහ දරයි. එය ද එක්තරා උත්තම පරිත්‍යාගයකි. ඒ සඳහා මනරම් කාව්‍යොක්තියක් රචකයා විසින් පද මාලාවට එක්කොට තිබේ. එනම් ඔහු ඈත සමුදුරේ නෞකාවක් නම් තමා පහන් ටැඹක් වන්නට සූදානම් බවයි.

“සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

මේ දුරස්ථ හිතෛශීභාවය කෙසේ නම් නිර්වචනය කරම් ද? මා නෞකාවක් වී පාවෙන්නේ, පාවී යන්නේ මෑත ගොඩබිමේ ඇති පහන්ටැඹ වන ඔබගේ ආලෝකයෙනි.

ඔබ මගේ ප්‍රදීපස්ථම්භයයි. තරු එළියක් නැති රාත්‍රි කාලයේ දැඩි සිතකින් මේ ගමන යාගන්නෙමි. ගමන දුරය. වෙහෙසකර ය. නමුත් ලෝකයේ කොතැනක හෝ සිට ඔබ මදෙස බලාසිටියි. අපට හමුවීමේ සිහිනයක් නැත. එසේ ම ඒ සිහිනය මරා දැමිය යුතු ද නැත. මක්නිසා ද ඒ සිහිනය ඉබේ ම මියැදෙන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා ය.

හිරු නැගී එනවිට මට ඔබේ රුව පෙනෙන්නේ නැත. එවිට මට හුදෙකලාවේ වේදනාව පසක් වෙයි. පාළුවේ වියරුවෙන් ඉකිබිඳිමින් සිටිද්දී යළිත් ඔබ පෙනෙන්නේ රාත්‍රිය උදා වන විට ය. ඈත සිට ඔබේ නෙතු පහන් දැල්වෙනු බලාගෙන මට මගේ ගමන යා හැකි ය.

එහෙත් ඇගේ තීන්දුවෙන් ඔහු ගේ හිත පෑරෙයි. ඔහුට අවශ්‍යවන්නේ ඒ මිතුරු දමට එහා යන ළබැඳියාවකි. ඒ නිසා ඔහු ඔහුගේ ජීවන නෞකාව පැදවීමට ඇය පහන් ටැඹක් බවට පත්කර නොගනී. ඔහු සිත දැඩිකර ගෙන තරු එළියෙන් තම ගමන ආරම්භ කරයි. ඔහු ලද මානසික ආතතියේ බරපතළකම ඉතා මැනවින් ස්පර්ශ කිරීමට මෙහිදී රචකයා සමත් වේ.

“තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

මෙහිදී ඔහුගේ පරාජිත බව මෙන් ම පරාජිත බව ඉදිරියේ සිත දැඩි කර ගැනීමට ගන්නා උත්සාහය ද රචකයා මනාව ප්‍රතිනිර්මාණය කරයි.

ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. ඇතැම් විට ඇයට පෙම්වතකු සිටිනවා විය හැකි ය. නොමැති නම් ඇය ආලයෙන් බැට කෑ එකියක විය යුතු ය.

එහෙත් ඇය නපුරු යුවතියක නොවේ. ඇයගේ හදවත ද ඔහු වෙනුවෙන් කම්පාවෙයි. තමා වෙනුවෙන් වැළපෙන, තම ප්‍රේමය ඉදිරියේ හඬා වැටෙන මේ පුද්ගලයා අමතක කර දැමීමට ඇය සූදානම් නැත. ඇය හුදෙකලාවට පෙම් බඳින නමුත් ඔහු ව සිහිපත් කරන්නී ය.

ළං කර නොගත්ත ද ඔහුව දුරින් හෝ දැක ගැනීම ඇගේ අභිප්‍රායයි. ඇගේ යටි සිත තුළ ඔහු කෙරෙහි ළෙන්ගතු කමක් පවතී. එහෙත් ඔහුට ළං වීමට නොහැකි, පරිසරයක් ඈ වටා නිර්මාණය වී තිබේ. එහෙත් හිරු අවරට යන සන්ධ්‍යාවක තමා වෙනුවෙන් වැළපෙන මේ හුදෙකලා ආත්මය වෙනුවෙන් කඳුළක් සැලීමට ඇය අමතක නොකරයි.

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්...

ගීතය අවසානයේ ඉතා දැඩිව අනුකම්පාවට හසුවන්නේ මේ පරාජිත තරුණයා ය. එහෙත් ඔහුගේ පරාජිත බව ඉදිරියේ මේ තරුණිය ද්වේෂයට ලක් නොවීම විශේෂත්වයකි. එසේ ම මේ අනුභූතිය යෞවනයට පමණක් ම සීමා නොවන්නකි. ජීවිතයේ විවිධ වයස් මට්ටම්වලදී ප්‍රේමය හා බැඳුණු මෙබඳු අත්දැකීම විඳ ගැනීමට මනුෂ්‍යයාට සිදුවෙයි. ඒ නිසා ම රචකයා ගේ අනුභූතිය වැළඳ ගැනීම ඇති ඉඩ පරාසය වැඩිවෙයි.

කපිල කුමාර කාලිංගයන්ගේ මේ අදහස අපූර්වත්වයක් ජනනය කරවන ඉසියුම් සිතුවිලි දහරාවකට මඟ පාදා දෙයි. දෙදෙනෙකු අතර ඇති මෙවැනි සොඳුරු සබැඳියාවන් ලෝකයේ මොනතරම් ඇත්ද? ඔහු මේ ගැන කීවේ මෙලෙසයි.

“අසූව දශකයේ අග වගේ තමා මේ ගීය ලියැවුණේ. රෝහණ වීරසිංහයන් ගීත අටක් නිර්මාණය කළා. ඒ සඳහා දුන් නිර්මාණයක් මේක. ඇත්තටම මෙහි තේමාව වන්නේ ‘සියල්ලටම අනතුරුව ඉතිරි වන්නේ අපූරු මිනිස් සබඳතා පමණක් ය’ යන මා දරන අදහස වෙන්නැති. මෙය බොහෝ දෙනෙකුට ගෝචර වන අත්දැකීමක්. ගීතය ගැයුවේ ගුරුවරයා සහ ශිෂ්‍යාවක වීමත් විශේෂයි. එවකට ලක්ෂ්මන් සංගීත ගුරුවරයෙක්. ප්‍රදීපා සංගීතය හදාරන සිසුවියන් රෝහණ වීරසිංහයන් ගේ අපූරු තනුවත් මේ දෙදෙනාගේ ගායනයත් මගේ පදමාලාවට ආලෝකයක්." කපිල පවසන්නෙ එලෙසින්..

පද රචනයට අමතර ව මෙහි ගායනය හා සංගීතය පිළිබඳ ව සඳහන් කළ යුතු යැයි මට හැඟේ. ප්‍රදීපා ගේ හඬ ශ්‍රාවකයා හඳුනාගන්නේ මුලින් ම වේදිකාවෙනි. එහෙත් ඇගේ මධුර හඬින් ඈ උපරිම ප්‍රයෝජනය ගත්තා යැයි මම නොසිතමි. මේ ගීතය පමණක් නොව ‘දූවිලි’ ‘විනේ කටින උන්’ ආදී ගීත ද ඇගේ මනරම් ගැයුම් ය.

මේ ගැන ප්‍රදීපා ධර්මදාස මේ ගීතය ගැන බොහොම තෘප්තිමත් හැඟීමෙන් කතා කළේ.

“1995 දී තමා මේ ගීය මගේ සංගත තැටියට ඇතුළත් වුණේ. ප්‍රේමය කියන දෙය සම්ප්‍රදායික විවාහයකින් කෙළවර විය යුතු ය යන්නයි අපේ පොදු මතය. නමුත් මෙතැන ඊට වඩා වෙනස් වූ සම්බන්ධතාවයන් ජීවිතවල අපට හමුවෙනවා සොඳුරු ඇසුරු ඕනෑ තරම්. ඒත් ඒවා ආදරය නෙමෙයි. ඊට වඩා සුන්දර වෙන්න පුළුවන්. රාගික චේතනාවලින් කෙලෙස් නැති මෙවැනි ඇසුරු සමාජයේ තිබෙනවා. රසිකයෝ බොහොම ආදරයෙන් මේ ගීතය වැළඳගත්තා. ලක්ෂ්මටත් මටත් මේ ගීතය ගයන්නටම විදේශ රටවල සංදර්ශනවලට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ තරමට ම එය මිනිසුන්ට සමීපයි.”

ලක්ෂ්මන් විජේසේකරයන් ද ගීතය ගැන පැවසුවේ එබඳුම අදහසක්.

ලක්ෂ්මන් විජේසේකරයන් සතුව ඇත්තේ කෙනෙකුට කලාතුරකින් පිහිටන විපුලම්භයට නැඹුරු වූ කටහඬකි. ඔහුගේ එක්තරා ගීයකින් මා තරුණ කළ නැළවුණෙමි. වැළපුණෙමි.

“දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්”
(ලක්ෂ්මන් විජේසේකර)

මේ පද රචනයට මේ දෙදෙනාගේ හඬ සම්මිශ්‍රණය අත්වැලක් වී තිබේ. රෝහණ වීරසිංහයන් වඩාත් උනන්දුවෙන් මෙහි තනු නිර්මාණය කර ඇති බවක් මට හැඟීයයි. එය ඒ තරමට ම පද මාලාව සමඟ බද්ධ වෙයි.

ඉතින්, රසික හදවත්වල ඇතුළාන්තයට ගලා ගොස් ඔවුන්ගේ බුද්ධියට අමතන්නට රස පහස අවදි කරවන්නට රෝහණ වීරසිංහයන්ගේ අපූරු සංගීතයත් මොනවට යෙදී ඇති ආකාරය ඔබත් විඳිනවා ඇති. ජීවිතේ සුන්දරය. බොහෝ විට හුදෙකලාව ළඟ එය වඩාත් සුන්දර ය. සොඳුරු බැඳීම් ඈතින් තිබුණත් සිතට සුන්දර ය. ළඟට ළං වූවිට දැනෙන ‘ගින්දර’ දැනෙන්නේ නැති නිසා ය. සිත පෙළන හුදෙකලාවේ පාළු, සීතල, ඈත පෙනෙන පහන් ටැඹක ආලෝකයෙන් උණුසුම් වනවිට ලෝකයේ ඇති පරම පවිත්‍ර බැඳීමක සුන්දරත්වය ඔබට විඳින්නට ලැබෙයි. ඔබ දුර ය... ඒ නිසා ම හදවතට වඩාත් ම ළඟ ය...!

ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.

එසේ ම දුරින් සිට අපට එළිය දෙන අය කොපමණ සිටිත් ද? ප්‍රදීපාගාරයක ආලෝකය පෙනි පෙනී ඉවත බලාගෙන තරු එළියෙන් ජීවිත ඔරුව පැදීමට ඔහු ගන්නේ සාර්ථක උත්සාහයක් ද? ආදරය නොමැති නම් මෙසේ කෙනකුට දුරින් සිට ආලෝකය ගෙනදිය හැකි ද? මේ ගීතය ඇසෙන හැම විට ම ම සිත පැනයක් ඉතිරි වෙයි. මෙබඳු සුපෙම් හැඟුම් පිරි සිහිනය, මේ අයුරින් මිය යා යුතු ද?

ආවාට තිබුණත් නිසසල සඳ මත

ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි...෴

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැඟු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ

සදාකාලයෙන් සදාකාලයට
අපට උරුම නැත දුක් කඳුළු
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා
_______________
ගී පද - නිමල් ජුලිගේ
ගී තනු / ගී හඬ - නිමල් ගුණසේකර

මීට වසර තිස් පහකට පමණ පෙර එක්තරා දහවලක මම ගුවන්විදුලි වැඩසටහනකට සවන් දෙමින් සිටියෙමි. මගේ මතකය නිවැරැදි නම් ඒ “වෙලෝනා ගීත ධාරා” නමැති වැඩසටහනයි.

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි

නැවුම් වචන මාලාවක් සමඟ නැවුම් හඬක් මගේ සවන් සිසාරා යන බවක් මට දැනිණි. ඉන්පසු කීප අවස්ථාවකදීම මේ ගීතය ශ්‍රවණය වූ අතර එකල සිට එය මගේ පමණක් නොව මගේ මිතුරන් ගේ ද පි‍්‍රයතම ගීතයක් බවට පත්විය.

නැවත මගේ හිත දිවයන්නේ මීට වසර විස්සකට පමණ පෙර දිනයක් වෙතයි.

“හැකිනම් මගේ නිවසට පැමිණ මා හමුවන්න”

යනුවෙන් සඳහන් තැපැල්පතක් මගේ නිවසට ලැබිණි. ඒ තැපැල්පත එවා තිබුණේ නිමල් ගුණසේකරයන් ය. මගේ සිත සතුටින් පිරී ගියේ ය. මම වහා ම යතුරු පැදිය ගෙන කිලෝමීටර් හැටක් පමණ ගෙවා ඔහුගේ නිවසට ගියෙමි. මා ලියු කවි පොතක් ඔහුට ලැබී තිබුණු අතර ඔහු එයින් කවියක් සංගීතය යොදා ගයන්නට විය.

එදා සිට මේ ගායකයා මගේ සමීප මිතුරකු බවට පත්විය. එහෙත් මේ සටහන තබන්නේ ඒ මිතුරුකම වෙනුවෙන් නොව දශක තුනකට අධික කාලයක් රසිකයන්ගේ මුවඟ රැඳුණු සරල ගීයක් වෙනුවෙනි. මෙහි රචකයා මා කවදාවත් මුණගැසී නොමැති නිමල් ජුලිගේ ය.

“ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

කෙතරම් අපූර්ව කාව්‍යොක්තියක් ද? ආවාට ඇති හඳකට පෙම් කරන පේ‍්‍රමවන්තයා තම පේ‍්‍රමය සඳ මෙන් අහිංසක බව පවසයි. ආවාට වලින් පිරි හඳ ලෙස රචකයා දකින්නේ නිකැළැල් පෙම්වතියක නොව කැළැල් වූ පෙම්වතියක් ය.

ජීවිතයේ යම් කිසි අතපසු වීමකින් ඈ සමාජ සම්මතයන් තුළ ආවාටවලින් පිරි සඳක් බවට පත්වෙයි. එහෙත් ඈ වෙනුවෙන් නිකිලිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම් ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණ ද ඔහු නොසැලෙයි.

“මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැඟු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ”

ඇතැම් සමාජ සංස්කෘතික සම්මතයන්හි පවතින භයංකර බව මේ මඟින් සංකේතවත් වේ. මෙය, පෙරදිග සංස්කෘතියෙහි පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රියගේ පමණක් නොඉඳුල් බව සෙවීමේ සම්ප්‍රදායයි. අවාසනාව වන්නේ පිරිමියා පමණක් නොව ගැහැනිය ද මෙයට දායක වීමයි. තම ලේළියගේ කන්‍යා පටලය පරීක්ෂාවට සැදී පැහැදී සිටින්නේ “නැන්දම්මා” යන නමින් හඳුන්වන තවත් ගැහැනියක වීම ඛේදවාචකයකි.

මේ තරුණිය පෝරුව මත සිහිසුන් ව ඇද වැටෙන්නේ මේ සංස්කෘතික වධකාගාරයට ඇති බිය නිසා ය. තම මංගල යහනේ අතුරන ලද ඇතිරිල්ලක හොඳ නරක විමසීමට සැදී පෑදී සිටින නැන්දම්මා ගේ දෑස සමඟ ඇගේ දෑස ගැටෙන්නට ඇත.

අද කැවුම් කොකිස් අනුභව කරන මේ ඥාති සමූහයා හෙට තමාට එරෙහි ව අවි ඔසවන බව ඇයට හැඟෙන්නට ඇත. මේ සංස්කෘතික දංගෙඩියට හිස තැබීමට තරම් ආත්ම ශක්තියක් ඇයට නොමැති ව ඇය සිහිසුන් ව ඇද වැටෙයි.

පෙම්වතාගේ මානුෂීය ගුණය ඉස්මතු වන්නේ එතැන් සිටයි. ඔහු තුළ ඈ කෙරෙහි හටගන්නේ දයාවකි. අනුකම්පාවකි. ඒ අනුකම්පාව මතින් ඔහු මේ අසංස්කෘතික සමාජයට අභියෝග කරයි. සාම්ප්‍රදායික ආකල්ප නමැති කෙවිටෙන් ඇයට පහරදීමට ඔහු සූදානම් නැත.

“සදාකාලයෙන් සදාකාලයට
අපට උරුම නැත දුක් කඳුළු
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා”

ඉතා ම සරල වචන මාලාවක් ඔස්සේ ඇතැම් සමාජ සම්මතයන්ට රචකයා අභියෝග කරන අයුරු ප්‍රශස්ත ය. මේ සමාජ සම්මතයන් ඉදිරියේ සදාතනික දුක් කඳුළක් ඇගේ ඇස ළඟ ඉතිරි කිරීමට ඔහු සූදානම් නැත. හෙට දිනයට ඔහු දොර කවුළු විවර කරන්නේ අලුත් ඉරක් දැකීමටයි. ඒ අලුත් හිරු එළියේ ඇගේ ලෝකයේ මැලවුණු මල් පෙති යළි පිබිදෙනු ඇත.

ආර්. ආර්. සමරකෝන්ගේ ගේ කුරුල්ලෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රකාශයක් මට සිහි වෙයි.

“පිරිමි මඩ දුටු කළ පාගා ගනිති. දිය දුටු කළ සෝදා ගනිති. ගැහැනු ඒ අතින් අවාසනාවන්ත ය. පළුද්දක් වුණොත් විනාස ය. කවුරුවත් බාර ගන්නේ නැති ය”

(ගේ කුරුල්ලෝ - ආර්. ආර්. සමරකෝන්)

මේ සමාජ සංස්කෘතිය තව කොතෙක් පැවතිය යුතු ද? ගැහැනුන් දහසක පහස ලැබු පුරුෂයා මංගල යහනකදී නොඉඳුල් කන්‍යාවක් පැතීම මෙන්ම එය නොලැබුණු විට ගැහැනියට ගර්හා කිරීම ගෝත්‍රික චාරිත්‍රයක් මිස වෙන කුමක් ද? සරල ගීයක් වුවද ගීත රචකයා බුද්ධිමය සංවාදයක් සඳහා දොර විවර කරයි. ඔහු ඇයට අනුකම්පා කරන්නේ මේ සංස්කෘතික බලවේගවල භයානකකම ඉදිරියේ ය.

එහෙත් කන්‍යාභාවය අහිමි වීම පිරිමියකුගේ දෙපතුළ දනින් වැටී සමාව අයැද සිටීමට තරම් පාපයක් ද යන්න තවදුරටත් උත්තර සංවාදයක් බවට පත්විය යුතුය.

නිමල් ගුණසේකරයන් වූ කලී ගායකයකු පමණක් නොව සංගීතඥයෙකි. රටේ අවාසනාවට හෝ ඔහුගේ අවාසනාවට ඔහුට යන්නට තිබු දුර ඔහු පසුකළ බවක් නොපෙනේ. ඔහු සතුව පවතින්නේ අනුකාරක හඬක් නොව ඔහුට ම ස්වාධීන වූ හඬකි. ඔහුගේ සංගීත නිර්මාණ ද ඔහුට ම ස්වාධින වූවකි.

‘ඉර නෑ වෙනස් වෙලා’ නංගිලාට වාසි බෝ වගේ’
‘මට නොවේ ඔබ ආදරේ කළේ...’
‘පෝයදාට පායන හඳ කුමක් වැනී...’
‘මිලාන දෑසේ...’

‘කාසි ගෙවා ගන්නත් බැරි’ ආදී අපූර්ව සරල ගී රාශියක් ඔහු සිංහල ගීත සාහිත්‍යයට එක්කොට තිබේ. සංගීත රැලිවලට ඔහු ගසා නොගිය අතර අදීන ගායකයකු ලෙස ඔහු දිනාගත් නම කිසිවකුට මකා දැමිය නොහැකි ය.

මේ ගීත රචකයා ද නිමල් ගුණසේකර මෙන්ම ගීතයකින් දෙකකින් පසු සැඟ වී ජීවත් වෙන්නෙකි. එහෙත් සරල ගීතය යනු කුමක් ද යන්න ඔහු හොඳින් හඳුනාගෙන සිටි බව මේ පද මාලාවෙන් පමණක් ම පැහැදිලි වේ.

උදුම්බරා හිනැහෙනවා

හඳුනාගත්තොත් ඔබ මා....

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා..

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා..

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා...
සිනා කදුළු වගුරනවා

ආදරයේ.. ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ මා....

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි....
උදුම්බරා කඳුළු සළයි....
කදුළු සළයි... කදුළු සළයි..
____________________________________
ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය ‍: ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර

"ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...."

මා කුඩා කළ මේ වචන පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත්, ඒ තේමා පාඨය ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය. එය එකල චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි. මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ බණ්ඩාර කේ විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක් කියවමින් සිටියදී ය.

එහි සඳහන්ව තිබූ දේවල් ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ , මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ බව සිහි වූයේ බණ්ඩාර කේ විජේතුංගයන්ගේ කෘතිය නිසාය. ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත් අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති හෙයිනි.

බඹරු ඇවිත් සිනමා කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස, ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා....

ඉර අඳුරට හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට සංගීතයත්, චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත් අපට දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.

මහ මුහුද, මහ මුදේ හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අ‍ඳෝනා ‍ මුහුදේ නිතර වෙනස් වන ස්වභාවය ඔස්සේ කේමදාස සිය සංගීතයට හසුකර ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර “මහ මුහුද” සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි. විටෙක මුහුදේ ඇති නිසල බවත්, තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ මතු දැක්වෙන කොටසනි.

“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා....”

චිත්‍රපටයේ කතා පුවත සමග සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.

කේමදාස ඒ සඳහා ටී.එම් ජයරත්නගේ ගායනය මෙන්ම අයිවෝ ඩෙනිස්ගේ ගායනයද එකපිට එක නැගෙන මූදු රළ හා අනුගත වෙමින් ගායන හඬ මුසු කරවයි. වරෙක ටී.එම්.ගේ හඬ උච්ඡ ස්වරයෙන්ද අයිවෝගේ හඬ මන්ද්‍ර සවරයකින්ද සංගීතයට හසුකර ගන්නේ මූද මෙන් ව්‍යාකූල වු ධීවරයන්ගේ ආත්මය ප්‍රකාශ කිරිමටය.

මීට පෙර දවසකද මා සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය වූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග අරගල කරන සුනිලා අබේසේකරගේ එදා තිබූ තියුණු ගායන ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුලින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.
හඳුනාගත්තොත් ඔබ මා....

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා..

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා..

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා...
සිනා කදුළු වගුරනවා

ආදරයේ.. ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ මා....

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි....
උදුම්බරා කඳුළු සළයි....
කදුළු සළයි... කදුළු සළයි..
____________________________________
ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය ‍: ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර

"ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...."

මා කුඩා කළ මේ වචන පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත්, ඒ තේමා පාඨය ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය. එය එකල චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි. මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ බණ්ඩාර කේ විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක් කියවමින් සිටියදී ය.

එහි සඳහන්ව තිබූ දේවල් ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ , මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ බව සිහි වූයේ බණ්ඩාර කේ විජේතුංගයන්ගේ කෘතිය නිසාය. ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත් අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති හෙයිනි.

බඹරු ඇවිත් සිනමා කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස, ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා....

ඉර අඳුරට හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට සංගීතයත්, චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත් අපට දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.

මහ මුහුද, මහ මුදේ හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අ‍ඳෝනා ‍ මුහුදේ නිතර වෙනස් වන ස්වභාවය ඔස්සේ කේමදාස සිය සංගීතයට හසුකර ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර “මහ මුහුද” සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි. විටෙක මුහුදේ ඇති නිසල බවත්, තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ මතු දැක්වෙන කොටසනි.

“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා....”

චිත්‍රපටයේ කතා පුවත සමග සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.

කේමදාස ඒ සඳහා ටී.එම් ජයරත්නගේ ගායනය මෙන්ම අයිවෝ ඩෙනිස්ගේ ගායනයද එකපිට එක නැගෙන මූදු රළ හා අනුගත වෙමින් ගායන හඬ මුසු කරවයි. වරෙක ටී.එම්.ගේ හඬ උච්ඡ ස්වරයෙන්ද අයිවෝගේ හඬ මන්ද්‍ර සවරයකින්ද සංගීතයට හසුකර ගන්නේ මූද මෙන් ව්‍යාකූල වු ධීවරයන්ගේ ආත්මය ප්‍රකාශ කිරිමටය.

මීට පෙර දවසකද මා සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය වූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග අරගල කරන සුනිලා අබේසේකරගේ එදා තිබූ තියුණු ගායන ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුලින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.

වරදක් කලත් සිතකින් නොවේ

ආදරයේ සුන්දර වරද..෴

වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නේ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ.......

ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙලා කුමට දෝ.......
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කඳුළු දෝ.........

අසරණ ඔබයී තනිවුනු ඇයයි
මට සාප කර යාවීදෝ.....
ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
සමුගන්න සිදුවෙවීදෝ.........

සිත වනාහි දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක් වැනි ය යනුවෙන් බුදුහිමියෝ වදාළහ.

"සිත නම් වල් අසෙකි
අල්වා බැඳ තැබිය යුතු
නුවණින් මෙහෙයවිය යුතු"

(ප්‍රබුද්ධ – මහගමසේකර)

එසේම බන්දුල විජේවීරයන් ගේ ගීතයක් උදෙසා සුනිල් ආරියරත්නයෝ මෙසේ පද ගෙතූහ.

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

(මහාචාර්ය සුනිල් ආරියරත්න)

දමනය කිරීමට නොහැකි මේ සිතිවිලි නිසා මිනිසා විවිධාකාර වූ ප්‍රායෝගික අර්බුදවල පැටලෙයි. ප්‍රේමය නම් වූ විෂයයෙහි වැඩි වැඩියෙන් මේ අර්බුද ඇතිවනු දක්නට හැකිය. ආදරය වූ කලී එක හිතකින් එකකුට හෝ එකියකට පමණක් පුදකළ යුතු ය යන්න සාම්ප්‍රදාය යයි.

ඒ සම්ප්‍රදාය බිඳෙන කල්හි සමාජ සංස්කෘතික ගැටලු හටගනී. ඒ ගැටලුවලට මුහුණදීමට කෙනකුට අසීරුවෙයි. ප්‍රණීත් අභයසුන්දර නම් වූ ගේය කාව්‍ය රචකයා තේමා කරගන්නේ එබඳු අර්බුදකාරී අවස්ථාවකි.

වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි

කථකයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකි. එකියක තමා සමීපයේ සිටින්නියකි. ඇතැම් විට ඇය බිරිය හෝ විවාහ අපේක්‍ෂිත තැනැත්තිය විය හැකිය. අනෙක් තැනැත්තිය දුරින් සිටින්නියකි. දෙදෙනාටම ඔහු එකහා සමාන ව ප්‍රේම කරයි. මට මීට පෙර තත්සර ඇසුරේ සටහන් තැබූ ගීයක් සිහිවේ.

"සම කෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
මම තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා"

(සමන් චන්ද්‍රනාත් වීරසිංහ)

මෙහිදී රිදවීමෙහි සහ පළිගැනීමේ යෙදෙන්නේ ඔහු සමීපයෙහි සිටින තැනැත්තියයි. ඔහු ආයාචනාත්මකව පවසන්නේ තමන්ට එවැන්නක් නොකරන ලෙසත්, දෙදෙනාම තමන් ගේ ඇස්දෙක හා සමාන බවත් ය. ඔහුට මේ දෙදෙනාගෙන් ම සමාවක් නොලැබිය හැකි නමුදු මෙහිදී වඩා වැදගත් වන්නේ කථකයාගේ අව්‍යාජත්වයයි. ඔහු කළේ වරද වේවා නිවැරදි දේ වේවා ඔහු තමා පිළිබඳ ඇත්ත හෙළි කරයි.

ඔහු මුහුණදෙන මීළඟ අර්බුදය වන්නේ, කුමන හේතුවක් නිසාවත්, එක් ප්‍රේමයකට තිත තැබීමට සූදානම් නොවීම හේතුවෙනි. එසේම එකියකට හෝ රිදවීමට ද ඔහු කැමති නොවේ’ දෙදෙනා කෙරෙහි ම නම්‍යශීලී වූ දයාබර හදවතක් ඔහු සතු ව පවතී.

ඔබෙ ගිනි නිවා - ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....

කථකයාගේ දයාබරත්වය නිසා ඔහුට චපලකම පිළිබඳ චෝදනාව එල්ලවීමට ඉඩක් නොමැත. චපල හදවතක් ලෙස කැට මුගුරු ගෙන පහර දෙනු වෙනුවට ඔහුට අනුකම්පා කිරීමට රසිකයා පෙලඹේ.

වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ”

එකියකට හෝ අසාධාරණයක් වනු දැකීමට ඔහු අකමැති ය. තමා සමීපයෙ සිටින ආදරවන්තිය ද දුරින් සිටින ආදරවන්තිය ද ඔහුට එක හා සමාන ය. එහෙත් ඔහුට අනාගත ඉරණම ඉවකින් මෙන් දැනේ නම් මේ දෙදෙනාට දක්වන සාධාරණය දෙදෙනාගෙන් තමාට ආපසු ලැබේද යන්න ඔහුට සැක සහිත ය. එබඳු අනාගත අභාග්‍යයකට ඔහු සූදානම් වන බවක් මෙහි දී රසිකයාට හැඟේ.

"අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ..."

ඔහු සිතකින් නොකළ වරදක් වුවද මේ වරද තේරුම් ගැනීමට මේ යුවතියෝ සමත් වෙති ද? එසේ නම් ශ්‍රී හර්ෂ රජු විසින් රචිත රත්නාවලී නාට්‍යයේ වාසවදත්තා ගේ චරිතය යළි ලොව පහළ විය යුතුය. මේ නිසා අවසාන ප්‍රතිඵලය විය යුත්තේ දෙදෙනා අතින් ම මොහු ප්‍රතික්‍ෂේප වී යාමයි.

සුලබ අනුභූතියක් වුවද එය දුලබ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රණීත් අභයසුන්දරයෝ සමත්වෙති. සමාජයෙන් චෝදනා ලැබිය හැකි චපල සිතකට අනුකම්පාව ලබාදීමට ද ඔහු සමත් වෙයි.

ප්‍රේමය පිළිබඳ සමාජ සංස්කෘතික සීමාවන් පුපුරවා හැරීමේ තේමාවක් ද මේ ගී පද රචනයෙහි අන්තර්ගත ය. ආදරයට කොන්දේසි පැනවිය නොහැකි බව මේ තුළින් යළි යළිත් පැහැදිලිවේ.

මැදිවිය ඉක්මවා යමින් සිටියද ප්‍රේමණීය හඬ පෞර්ෂය මහාචාර්ය සනත් නන්දසිරි තුළ නොනැසී පවතී. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායයි. එතුමන් ගේ බොහෝ තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතී.

මේ ගීත පදමාලාව පිළිබඳ ව වෙනත් මතවාදයන් ද රසිකයන් තුළ පවතී. එනම් තම පෙම්වතිය හා මව අතර අතරමංවුණු තරුණයකුගේ සිතුවිලි මෙහි අන්තර්ගත බවයි. නිර්මාණයකට එබඳු විවිධ අරුත් සපයන්නට සමාජය ඉදිරිපත් වීමෙන් ම පැහැදිලි වන්නේ සමාජය ඒ නිර්මාණය වැලඳගත් බවයි. කෙසේ වෙතත් මා දන්නා පරිදී තනුවක් වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතයේ උපරිම රසය මතුවන්නේ පළමු අනුභූතිය තුළ බව මට පෞද්ගලික ව දැනේ.

ප්‍රණීත් අභයසුන්දර ට මම කවදත් ආදරය කරමි. ඔහු අප පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. එකිනෙකා නාඳුනන ඈත දවසක වුවද පාසල් දැන්වීම් පුවරුවක රැඳි ඔහුගේ නිර්මාණ මම ආස්වාදය කර ඇත්තෙමි. අදත් මම ඔබගේ නිර්මාණ ඒ අයුරින් ම ආස්වාදය කරමි. ආචාර්ය ප්‍රණීත් අභ්‍යසුන්දර අභිබවා ගෙන මා ඉදිරියේ මැවෙන්නේ සුදුවතින් සැරසී කොළඹ ආනන්දයේ කොරිඩෝවක් මැදින් ඇවිදගෙන ගිය ප්‍රණීත් අභයසුන්දරයි.