ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි...෴
ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැඟු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ
සදාකාලයෙන් සදාකාලයට
අපට උරුම නැත දුක් කඳුළු
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා
_______________
ගී පද - නිමල් ජුලිගේ
ගී තනු / ගී හඬ - නිමල් ගුණසේකර
මීට වසර තිස් පහකට පමණ පෙර එක්තරා දහවලක මම ගුවන්විදුලි වැඩසටහනකට සවන් දෙමින් සිටියෙමි. මගේ මතකය නිවැරැදි නම් ඒ “වෙලෝනා ගීත ධාරා” නමැති වැඩසටහනයි.
ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
නැවුම් වචන මාලාවක් සමඟ නැවුම් හඬක් මගේ සවන් සිසාරා යන බවක් මට දැනිණි. ඉන්පසු කීප අවස්ථාවකදීම මේ ගීතය ශ්‍රවණය වූ අතර එකල සිට එය මගේ පමණක් නොව මගේ මිතුරන් ගේ ද පි‍්‍රයතම ගීතයක් බවට පත්විය.
නැවත මගේ හිත දිවයන්නේ මීට වසර විස්සකට පමණ පෙර දිනයක් වෙතයි.
“හැකිනම් මගේ නිවසට පැමිණ මා හමුවන්න”
යනුවෙන් සඳහන් තැපැල්පතක් මගේ නිවසට ලැබිණි. ඒ තැපැල්පත එවා තිබුණේ නිමල් ගුණසේකරයන් ය. මගේ සිත සතුටින් පිරී ගියේ ය. මම වහා ම යතුරු පැදිය ගෙන කිලෝමීටර් හැටක් පමණ ගෙවා ඔහුගේ නිවසට ගියෙමි. මා ලියු කවි පොතක් ඔහුට ලැබී තිබුණු අතර ඔහු එයින් කවියක් සංගීතය යොදා ගයන්නට විය.
එදා සිට මේ ගායකයා මගේ සමීප මිතුරකු බවට පත්විය. එහෙත් මේ සටහන තබන්නේ ඒ මිතුරුකම වෙනුවෙන් නොව දශක තුනකට අධික කාලයක් රසිකයන්ගේ මුවඟ රැඳුණු සරල ගීයක් වෙනුවෙනි. මෙහි රචකයා මා කවදාවත් මුණගැසී නොමැති නිමල් ජුලිගේ ය.
“ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
කෙතරම් අපූර්ව කාව්‍යොක්තියක් ද? ආවාට ඇති හඳකට පෙම් කරන පේ‍්‍රමවන්තයා තම පේ‍්‍රමය සඳ මෙන් අහිංසක බව පවසයි. ආවාට වලින් පිරි හඳ ලෙස රචකයා දකින්නේ නිකැළැල් පෙම්වතියක නොව කැළැල් වූ පෙම්වතියක් ය.
ජීවිතයේ යම් කිසි අතපසු වීමකින් ඈ සමාජ සම්මතයන් තුළ ආවාටවලින් පිරි සඳක් බවට පත්වෙයි. එහෙත් ඈ වෙනුවෙන් නිකිලිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම් ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණ ද ඔහු නොසැලෙයි.
“මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැඟු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ”
ඇතැම් සමාජ සංස්කෘතික සම්මතයන්හි පවතින භයංකර බව මේ මඟින් සංකේතවත් වේ. මෙය, පෙරදිග සංස්කෘතියෙහි පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රියගේ පමණක් නොඉඳුල් බව සෙවීමේ සම්ප්‍රදායයි. අවාසනාව වන්නේ පිරිමියා පමණක් නොව ගැහැනිය ද මෙයට දායක වීමයි. තම ලේළියගේ කන්‍යා පටලය පරීක්ෂාවට සැදී පැහැදී සිටින්නේ “නැන්දම්මා” යන නමින් හඳුන්වන තවත් ගැහැනියක වීම ඛේදවාචකයකි.
මේ තරුණිය පෝරුව මත සිහිසුන් ව ඇද වැටෙන්නේ මේ සංස්කෘතික වධකාගාරයට ඇති බිය නිසා ය. තම මංගල යහනේ අතුරන ලද ඇතිරිල්ලක හොඳ නරක විමසීමට සැදී පෑදී සිටින නැන්දම්මා ගේ දෑස සමඟ ඇගේ දෑස ගැටෙන්නට ඇත.
අද කැවුම් කොකිස් අනුභව කරන මේ ඥාති සමූහයා හෙට තමාට එරෙහි ව අවි ඔසවන බව ඇයට හැඟෙන්නට ඇත. මේ සංස්කෘතික දංගෙඩියට හිස තැබීමට තරම් ආත්ම ශක්තියක් ඇයට නොමැති ව ඇය සිහිසුන් ව ඇද වැටෙයි.
පෙම්වතාගේ මානුෂීය ගුණය ඉස්මතු වන්නේ එතැන් සිටයි. ඔහු තුළ ඈ කෙරෙහි හටගන්නේ දයාවකි. අනුකම්පාවකි. ඒ අනුකම්පාව මතින් ඔහු මේ අසංස්කෘතික සමාජයට අභියෝග කරයි. සාම්ප්‍රදායික ආකල්ප නමැති කෙවිටෙන් ඇයට පහරදීමට ඔහු සූදානම් නැත.
“සදාකාලයෙන් සදාකාලයට
අපට උරුම නැත දුක් කඳුළු
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා”
ඉතා ම සරල වචන මාලාවක් ඔස්සේ ඇතැම් සමාජ සම්මතයන්ට රචකයා අභියෝග කරන අයුරු ප්‍රශස්ත ය. මේ සමාජ සම්මතයන් ඉදිරියේ සදාතනික දුක් කඳුළක් ඇගේ ඇස ළඟ ඉතිරි කිරීමට ඔහු සූදානම් නැත. හෙට දිනයට ඔහු දොර කවුළු විවර කරන්නේ අලුත් ඉරක් දැකීමටයි. ඒ අලුත් හිරු එළියේ ඇගේ ලෝකයේ මැලවුණු මල් පෙති යළි පිබිදෙනු ඇත.
ආර්. ආර්. සමරකෝන්ගේ ගේ කුරුල්ලෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රකාශයක් මට සිහි වෙයි.
“පිරිමි මඩ දුටු කළ පාගා ගනිති. දිය දුටු කළ සෝදා ගනිති. ගැහැනු ඒ අතින් අවාසනාවන්ත ය. පළුද්දක් වුණොත් විනාස ය. කවුරුවත් බාර ගන්නේ නැති ය”
(ගේ කුරුල්ලෝ - ආර්. ආර්. සමරකෝන්)
මේ සමාජ සංස්කෘතිය තව කොතෙක් පැවතිය යුතු ද? ගැහැනුන් දහසක පහස ලැබු පුරුෂයා මංගල යහනකදී නොඉඳුල් කන්‍යාවක් පැතීම මෙන්ම එය නොලැබුණු විට ගැහැනියට ගර්හා කිරීම ගෝත්‍රික චාරිත්‍රයක් මිස වෙන කුමක් ද? සරල ගීයක් වුවද ගීත රචකයා බුද්ධිමය සංවාදයක් සඳහා දොර විවර කරයි. ඔහු ඇයට අනුකම්පා කරන්නේ මේ සංස්කෘතික බලවේගවල භයානකකම ඉදිරියේ ය.
එහෙත් කන්‍යාභාවය අහිමි වීම පිරිමියකුගේ දෙපතුළ දනින් වැටී සමාව අයැද සිටීමට තරම් පාපයක් ද යන්න තවදුරටත් උත්තර සංවාදයක් බවට පත්විය යුතුය.
නිමල් ගුණසේකරයන් වූ කලී ගායකයකු පමණක් නොව සංගීතඥයෙකි. රටේ අවාසනාවට හෝ ඔහුගේ අවාසනාවට ඔහුට යන්නට තිබු දුර ඔහු පසුකළ බවක් නොපෙනේ. ඔහු සතුව පවතින්නේ අනුකාරක හඬක් නොව ඔහුට ම ස්වාධීන වූ හඬකි. ඔහුගේ සංගීත නිර්මාණ ද ඔහුට ම ස්වාධින වූවකි.
‘ඉර නෑ වෙනස් වෙලා’ නංගිලාට වාසි බෝ වගේ’
‘මට නොවේ ඔබ ආදරේ කළේ...’
‘පෝයදාට පායන හඳ කුමක් වැනී...’
‘මිලාන දෑසේ...’
‘කාසි ගෙවා ගන්නත් බැරි’ ආදී අපූර්ව සරල ගී රාශියක් ඔහු සිංහල ගීත සාහිත්‍යයට එක්කොට තිබේ. සංගීත රැලිවලට ඔහු ගසා නොගිය අතර අදීන ගායකයකු ලෙස ඔහු දිනාගත් නම කිසිවකුට මකා දැමිය නොහැකි ය.
මේ ගීත රචකයා ද නිමල් ගුණසේකර මෙන්ම ගීතයකින් දෙකකින් පසු සැඟ වී ජීවත් වෙන්නෙකි. එහෙත් සරල ගීතය යනු කුමක් ද යන්න ඔහු හොඳින් හඳුනාගෙන සිටි බව මේ පද මාලාවෙන් පමණක් ම පැහැදිලි වේ.
No comments:
Post a Comment