සුභාවිත ගීතය ක්ෂණික නැහැ...෴
ගීතය ජනපි‍්‍රය කලාවක් ලෙස වර්ධනය වීමේදී කවියට අතීතයේ තිබූ තැන ගීතයට හිමි වී ඇත්දැයි වර්තමානයේ බොහෝ දෙනා තර්ක කරති. නමුත් මගේ අදහස නම් සෑම කවියක් ම ගීතයක් නොවේ. නමුත් කිසියම් සංගීත රචකයකුට හැකියාව ලැබෙනවා කාව්‍යමය රචනාවක් ගීතයක් බවට පරිවර්තනය කිරීමට. ඒ සංගීතඥයා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මතයි කවියක් ගීතයක් වන්නේ.
නමුත් සාහිත්‍ය රසය අතින් පද රචකයෙක් රචනා කරන සෑම කවියක්ම ගීතයක් වන්නේ නැහැ. එහෙත් අපේ ගීතාවලියේ ඉතිහාසය දෙස බලන විට ගීත බවට පත්වූ ගීත යැයි පිළිගන්නා ලද කාව්‍යමය රචනාවන් ඕනෑ තරම් තිබෙනවා. දැන් මෑත ඉතිහාසයේ උදාහරණයක් කියනවා නම් සුනිල් එදිරිසිංහ ගායනා කරන මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා කියන සිපිරිමාලේ කවි ආශ්‍රයෙන් වූ ගීතය. එය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නම් කර තිබෙන්නේ ම සිපිරිමාලේ කවි කියායි.
කවි වුවත් එය ගීතයක් බවට පරිවර්තනය වන අවස්ථා තිබෙනවා. දැන් අපි කියනවා අපේ දේශීය ජන සංගීතය පැත්ත ගත්විට ජන ගී කියා. නමුත් අපි ජන ගී කියා සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනුයේ ජන කවියමයි. කවිය සහ සාහිත්‍ය යනු එක ම මාධ්‍යයකි. එය ගීතයක් බවට පත් වන්නේ ඒ සාහිත්‍යමය රචනාවට ගීතමය නැතිනම් සංගීතමය අර්ථකථනය ලැබූ විට ය.
ඊට අමතර ව සංගීත සංයෝජනය සහ ස්වර රටා යනාදිය එනම් වාද්‍ය වෘන්දයකින් ඊට ආනුෂංගික ව ඉදිරිපත් කරන අන්තර් සංගීත ඛණ්ඩ නිසා ගීතය නැමැති පැත්තට කවිය නැඹුරු කර ගැනීමේ හැකියාව ලැබෙයි. නමුත් සෑම කවියක් ම ගීතයක් වන්නේ නැහැ. නමුත් අපේ ගීතාවලියේ මේ දෙයාකාරයම දකින්නට ලැබෙයි.
කවි රචනා හැටියට බිහිවූ ගීත මුලින් කියූ ඊට ආනුෂංගික ව භාවිතා කළ හැකි සංගීත රචනය, වෘන්ද වාද්‍ය රචනය, ගායනය වැනි කරුණු නිසා කවි ගීත බවට පත්වූ අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් ගීතය කියන කලා මාධ්‍යය ඉතාම අර්ථ සම්පන්න වන්නේ එහි කාව්‍යෝක්තිය සහ සාහිත්‍යමය ගුණය ආරක්ෂා වුවහොත් පමණයි.
එහිදි විවිධ පද රචකයන් කාව්‍යමය යෙදුම්, උපමා, රූපක අනුප්‍රාස විටෙක එළිසමය ඇතිව සහ නැතිව විවිධාකාරයෙන් භාෂාවේ යම් යම් නියමයන් සහ යම් යම් ව්‍යාකරණ භාවිතා කරනවා. එමෙන්ම අපේ බහුතර ගීත රචකයන් ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකියි ජනශ්‍රැතිවලින් ජන කාව්‍යවලින් ඒ අයගේ පද රචනා පෝෂණය කර ගත්.
අපි ගීතය සහ කවිය වෙන් කර ගැනීමේදී යම් නිර්ණායකයක සිට කටයුතු කළ යුතුය. එනම් රැපියල් තෙන්නකෝන් එහෙම නැතිනම් මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න මානවසිංහ වගේ කවින් අපට සිටියා.
මෑත කාලයේත් පද රචකයන් විදියට රටේ ජනපි‍්‍රය වෙන්නේ සාහිත්‍යකරුවන්. කාව්‍ය රචකයන්. පසුව තමයි ඔවුන් ගීතය කියන මාධ්‍යයට ප්‍රවිෂ්ට වුණේ. මෙය වෙන්කොට ගත් විට ගීතය අද වෙන විට කවියට වඩා මිනිසුන් අතරට ගිහින් තිබෙනවා. කවියට වඩා ඉදිරි ගමනක් ගීතයේ තිබෙනවා. ඒ නිසා අද කවිය මිනිසුන්ගේ අවධානයෙන් ඉවත් ව තිබෙනවා. ඊට හේතුව වෙන්නේ සංගීතය නැමැති මහා සාගරයේ ගීතය කුඩා අංශුවක් වීමයි.
නමුත් සංගීතය නම් වූ විෂයේ ජනපි‍්‍රයම ශාඛාව ගීතයයි. ඒ හේතුව නිසා කවිය අබිබවා ගීතය ගමන් කොට තිබෙනවා. නමුත් මිනිස්සු ශ්‍රවණය කරන ගීත යැයි කියා ගන්නා යම් යම් නිර්මාණයන්හි කවිය අන්තර්ගත ව තිබේ. නමුත් ගීත යැයි හඳුනා ගන්නා නිර්මාණයන්හි කවි තිබේ.
අපි ගීත හැටියට කවි ශ්‍රවණය කරනවා. නමුත් ඉදිරිපත් කරන ක්‍රමවේදය, ගායන වේදය මත, ගීතයක් වූ විට කවිය නැමැති දෙයින් බාහිර ව අප එය ගීතයක් ලෙස රස විඳීමට පුරුදු ව තිබෙනවා.
එමෙන්ම අපේ ගීත සාහිත්‍ය පෝෂණය වීමට පල්ලියේ ගීතිකා සහ බෞද්ධ පිරිත් ස්වර උපකාරී වී තිබෙනවා. සුනිල් ශාන්තයන්ගේ ගීතාවලිය දෙස බලන විට පැහැදිලි ව ම අපට දකින්නට ලැබෙනවා බටහිර බෙන්ගාල රබින්ද්‍ර සංගීතයේ යම් යම් ලක්ෂණ. තවත් විටෙක දකින්නට ලැබෙනවා කතෝලික පල්ලිවල ගායනා කරනු ලබන ගීතිකාවල ස්වරූපය. තවත් අවස්ථාවක භාරතීය රාගධාරී සංගීත ලක්ෂණ අපට දැක ගන්නට ලැබෙනවා.
”නැළවී සැනසෙන්කෝ මගේ සුදු ඕළු මලේ” මේ ගීතය අසන ශ්‍රාවකයාගේ මනස ගමන් කරන්නේ පල්ලිය වෙතට ය. නමුත් එය වඩාත් බර සිංහලටය. ඊට හේතුව එතුමා හෙළ හවුලේ සිටි කෙනෙක් වීමයි. ඒ නිසා තමයි එතුමා පද රචනය කරන්නේ “නැළැවී සැනැසෙන්කෝ” ලෙස. එනම් ඊට හෙළ හවුලේ අනන්‍යතාව ලැබී තිබේ.
එබැවින් එහි ඉතා ගැඹුරු සෞම්‍ය දේශීය බවක් අපට ලැබෙනවා. අපේ බවක් හැඟෙනවා.
මෑත කාලයේ උදාහරණයක් ලෙසින් අපේ බෞද්ධ සාහිත්‍ය මඟින් පෝෂණය වූ ගීතයක් ලෙස පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත “බුදු බණ ඇසුවා නිරන්තරේ” ඒ ගීතයේ පිරිතේ නාද මාලාව ඇසෙනවා. ඒ වගේම භාරතීය සංගීතයේ භෛරවි කියන රාගය දෙසටත් යනවා. සංගීතය හරිම ගැඹුරුයි. අපට පැත්කනින් පිරිත ඇසෙනවා. නාද මාලාව ගීතයේ දෙවන තෙවන කොටසින් ඇසෙන විට නාද මාලාව වර්ධනය වෙලා භෛරවී කියන රාග පැත්තට යන ලක්ෂණ තිබෙනවා.
ඊළඟට චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ‘වැලිතල අතරේ’ ගීතය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරනවා. ‘මහබෝ වන්නම’ ගීතය බලන්න. එහි රිද්මය තුළ අපට ඇසෙනවා දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන පෙරහැර. ඒ දළදා පෙරහැරේ රිද්ම රටාව පණ්ඩිත් අමරදේවයන් සංගීත රචනයෙන් ඉදිරිපත් කරනවා.
හැබැයි දැන් බලන්න මෙවැනි පද රචනාවක් දෙස ‘ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්. මතකයි මට ඔබ දුන්නා කොට්ටෙට උරයක්” ඒ පද රචනාවේ කිසිදු සාහිත්‍ය අගයක් හෝ කවීත්වයක් නැහැ. නමුත් සුනිල් ආරියරත්න, ගීතනාත් කුඩලිගම වැනි විද්වතුන්ගේ ගීත රචනා මොන තරම් සුන්දර ද? ඒ නිසා මා දකින හැටියට අපි කවියන් ලෙස සැලකූ උදවිය ගීත රචනාවන්ට යොමු වුණේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් හම්බ කිරීමේ අරමුණින් නොවෙයි. ඔවුන් කවියට වඩා ගීතය රස විඳින රසිකත්වය දෙස බලා ගී රචනාවන්ට යොමු වූ බව මගේ අදහසයි.
සුනිල් ආර්. ගමගේ, ගීතනාත් කුඩලිගම, සුනිල් සරත් පෙරේරා, බණ්ඩාර ඇහැලියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ගීත රචකයෝ අපේ රටේ සිටිනවා. මේ අය කවියෙන් ඈත්වූ බවට මතයක් සමාජයේ තිබෙනවා. නමුත් එය මා විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ කවීත්වය තමයි අප ගීත තුළින් දැක්කේ.
ගීත යැයි සිතා ගනිමින් යම් යම් තරුණ පිරිස් විසින් වෙළෙඳපළට නිකුත් කරනු ලබන නිෂ්පාදන නිර්මාණ නෙවෙයි. ඒ නිෂ්පාදනයන්හි තමයි ක්ෂණික රස වින්දනය තිබෙන්නේ.
නමුත් කිසියම් ගැඹුරක්, පදනමක් දර්ශනයක් සහිත ව පද රචකයෙක් සංගීතඥයෙක් ගායකයෙක් එක් ව කරන නිර්මාණ ක්ෂණික වන්නේ නැහැ. එවැනි ගීත රසිකයාගේ හද පත්ලේ නිධන් වෙනවා. නමුත් වර්තමානයේ බාල බොළඳ නිෂ්පාදන විද්‍යුත් මාධ්‍ය යැයි කියාගන්නා සමහර ආයතන විසින් සමාජයට පීඩාකාරී ලෙස ලබා දෙනවා. සමාජයට බලෙන් ශ්‍රවණය කරවනවා. ඒ නිසා සුභාවිත ගීත රසිකයාගේ විඥානය අද කුමන්ත්‍රණකාරී ලෙස නැති කර දමා තිබෙනවා. එය සත්‍ය ලෙසම සමාජ විද්‍යාත්මක කාරණයක්. මේ තත්ත්වය නිසා තමයි අද බොහෝ දෙනා ගීතය ක්ෂණික මාධ්‍යයක් කියා හඳුන්වා දෙන්නේ.
දේශීය ගීතය කියන්නේ අප මේ භූමියේ අත්විඳින රිද්මයයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් පවා කියා තිබුණේ ගීතය ඉපදිය යුත්තේ මහ පොළොවේ රිද්මයෙන් කියා ය. එය මා ද අනුමත කරනවා.
-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෝලිත භානු දිසානායක-
No comments:
Post a Comment