සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...෴
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
පාසලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
ගී පොතේ හි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලු බැලුම් පි‍්‍රයේ
සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්...
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
_________________________
ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය – මිල්ටන් මල්ලවආරච්චි
පාසල් සමය තරම් රමණීය මතකයන් ඉතිරිකරන අවදියක් කෙනෙකුගේ ජීවිත කාලය තුළ තවත් ඇතැයි මම නොසිතමි. බොළඳ ළමා වියෙන් පිටමන්, වී භද්‍ර යෞවනය කරා ඕනෑ ම කෙනෙකු පා තබන්නේ මේ පාසල් සමය තුළයි. ඒ නිසාම ඒ සුන්දර වසත් සමය සුමිහිරි මෙන්ම අමිහිරි මතකයන් දායාද කරයි. ශෝකයත් සාහිත්‍යයේ දී රසයක් බැවින් අමිහිරි, මතකයන් වුව ද අවසානයේ ඉතිරි කරන්නේ මිහිරියාවකි.
මගේ ජීවිතය ගතහොත් මගේ පාසල පිරිමි විද්‍යාලයක් වූ නිසා මිශ්‍ර පාසලක දී ලබන අත්දැකීම් මගෙන් ගිලිහිණි. ඒ පිළිබඳ ව අද මා තුළ ඇත්තේ බලවත් ශෝකයකි. විශේෂයෙන් ම කරුණාසේන ජයලත් ගේ “ගොලු හදවත” වැනි නවකතාවක් කියවන විට ඒ ශෝකය තව තවත් වැඩි වන්නේ සොඳුරු යුවතියන් සමඟ පාසල් විය ගෙවීමේ ඉඩහසර පිරිමි විද්‍යාලයක අකුරු කළ මට අහිමි වී ගිය බැවිනි.
එහෙත් ඒ අඩුව අප සපුරා ගත්තේ පෞද්ගලික පන්තිවලට සහභාගි වන අවස්ථාවන්හිදී ය. අගනුවර සතිඅන්ත භෞතික විද්‍යා පන්තියක ශිල්ප කරමින් සිටින මට අගනුවර බාලිකා විදුහලක සිසුවියක් ඒ පන්තියේදි ඇස ගැටිණ. ඈ වාඩිවී සිටියේ මා සිටි පේළියට නුදුරිනි. පාඩමට වඩා මගේ ඇස යොමු වී තිබුණේ ඈ වෙත ය. ගුරුවරයා උගන්වමින් සිටියේ “තාපය” නැමැති පාඩමයි. පාඩමේ මෙලෝ දෙයක් නොතේරුණු මම වරින් වර ඇය දෙස බලන්නට වීමි. මා වරින් වර හොරෙන් බලනු දුටු ඇය කීපවරක් මා දෙස රවා බැලුවා ය.
ඇය ඉතා අහංකාර බව මම ළඟ ම සිටි මිතුරාට කීවෙමි. මා පාඩමට අවධානය නොදක්වන බව දුටු ගුරුතුමා මා ඇඳ සිටි කමිසයේ පාට නම් කොට මට නැගිටින්නට අණ කළේ ය. මම වෙව්ලමින් නැගී සිටියෙමි. මා ගැන කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ගුරුතුමා වහා ම පන්තියෙන් පිටවන ලෙසට අණ කළේ ය. මිතුරන්ගේ සිනා හඬ මැද මා පන්තියෙන් පිටවෙද්දී පෙර මා සඳහන් කළ යුවතියද ඇගේ මිතුරියන් සමඟ මට සිනාසෙනු දුටුවෙමි. අමිහිරි අත්දැකීමක් වුවද එය මිහිරි මතකයක් සේ අද මා ළඟ පවතී. ඒ පාසල් සමයේ සුන්දරත්වය මිස වෙන කුමක් ද?
”සුළඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්....”
මේ ගීතය ද මගේ සවන් වැකුණේ මා පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ ය. මෙහි රචකයා හෝ සංගීතඥයා පිළිබඳ ව මම එකල දැන නොසිටියෙමි. එහෙත් මිල්ටන් මේ ගීය ගායනා කරනු ඇසූ හැම වාරයක ම ඈත ලෝකයකින් ගලා එන පාළු ශෝකී හැඟීමක් එදා මෙන් අදත් මාගේ සිත වෙළා ගනියි.
මා දන්නා පරිදි මේ ගීතය වූ කලී තනුවකට සැපයූ පද මාලාවකි. තනුව නිර්මාණය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ය. ගී පද කරුණාරත්න අබේසේකරයන් ගෙනි. තනුව කෙතරම් මිහිරි ද යත් කරු අයියාට ද බාධාවලින් තොරව වචන ගලා එන්නට ඇත. තනුවකට වචන සැපයූ බවක් නොතේරෙන තරමට අව්‍යාජ පද මාලාවක් මේ ගීතය තුළ අන්තර්ගත ය.
මෙහි කථකයා පාසල් සමය පසු කළා වූ යෞවනයෙකි. පාසල් සමයේ ලියලා දළුලා වැඩුණු ප්‍රේමය කාලයාගේ ඇවෑමෙන් බොඳ වී මැකී ගොසිනි. භද්‍ර යෞවනයේ ඉඳි වූ සිහින විමාන බිඳ වැටී ගොසිනි. අනාගතය පිළිබඳ අහස උසට ගොඩගැසුණු ප්‍රාර්ථනා සුළඟේ පාවී ඇය සමීපයට සුසුමක් ලෙසින් පාවෙයි. ඒ මතකයන් ආවර්ජනය කරමින් මිහිරක් විඳිනු විනා වෙනත් යමක් ඔහු ළඟ ඉතිරි වී නොමැත.
"පාසලේ දි මා දිහා නෙත් කොනින් බලා
ඔබ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ”
රසිකයා ගේ මතකය තම පාසල් සමය වෙත ගෙනයාමට මේ කුඩා වචන මාලාව මහා පරිමාණයෙන් දායක වෙයි. තමාගේ නෙතට පි‍්‍රය දසුන් කෙරෙහි ඇස ඇදී යාමත් ඇසට ඇස ගැටෙන මොහොතක දෑස්වලින් කතා කිරීමත් භද්‍ර යෞවනයට නුහුරු නොවේ. මේ යෞවනයා ද එවැනි සොඳුරු අතීතයකට හිමිකම් කියන්නෙකි. එහෙත් දෑස්වලින් කතා කරමින් රහසින් කී ප්‍රේමයේ පණිවිඩය සැබෑවක් වී නොමැත. පාසල් වියේ බැඳීම් බොහෝ විට නිමා වන්නේ මෙබඳු ඉරණමකිනි. එක්තරා ශෝකයක් මෙන්ම ශෝකය තුළින් හටගන්නා මිහිරියාවක් ද ඒ තුළ ඉතිරි වී තිබේ.
පාසල් සමය නිමා වන්නේ කුරුලු කූඩු ඉහිරුණාක් මෙන් එකිනෙකා දස අතට විසුරුවා දමමිනි. කොටසක් සරසවියට ඇතුළු වෙති, තවත් පිරිසක් විවිධ පාඨමාලා සඳහා විසිරේ. රැකියා සොයාගෙන ඇතැම්හු වෙන්වෙති.
ඇතැම්හු නිවෙස්හි හුදෙකලා වෙති. පාසල නිමාවීමත් සමඟ අලුත් ලෝකයක් විවෘත වන බැවින් අතීත සබඳතා ක්‍රමානුකූල ව ගිලිහී යයි. බහුතරයක් දෙනා මුහුණ දෙනු ලබනුයේ මේ ඛේද වාචකයටයි. ප්‍රේමයේ දිග් විජය ලබන්නේ කීපදෙනකු පමණි. බහුතරයකට අතීතය අනුස්මරණීය කඳුළක් බවට පත්වෙයි.
"ගී පොතේ හි මා ලියූ ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් පි‍්‍රයේ"
ඔහු ගේ ගී පොතේ ඔහු ලියූ ශෝක ගීතයේ උල්පත වී ඇත්තේ එදා ඇය ඔහු දෙස හෙළූ ආලවන්ත බැල්ම බව මේ යෞවනයා පවසයි.
ගායකයා, සංගීතඥයා සහ රචකයා ඒකාත්මීය වූ ප්‍රබල අවස්ථාවක් ලෙසින් මේ නිර්මාණය පෙන්වා දිය හැකි යි. කරුණාරත්න අබේසේකරයන් මේ ගීතය රචනා කරන්නේ තම මැදි වයසේදීය. එහෙත් ඔහු ඉතා අව්‍යාජ ව තම පාසල් සමය පද මාලාව තුළ ස්පර්ශ කර එය පොදු බවට පත්කර තිබේ.
ක්ලැරන්ස් විජේවර්ධනයන් මට තාමත් වටහා ගත නොහැකි සංගීතඥයෙකි. ඔහුගේ ඇතැම් සරල ගීත, ගිටාර රිද්මය ඔස්සේ ගොඩනැඟෙන ඒකාකාරී තනුවලට සීමා වෙයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී රසිකයාගේ ඇට මිඳුළු සිසාරා ඔහුගේ සංගීත නිර්මාණයෝ ගමන් කරති.
මීට වසර තිහකට පෙර මම චිත්‍රපටක් නරඹමින් සිටියෙමි. ඒ එච්.ඩී. ප්‍රේමරත්නයන් ගේ “සිකුරුලියා” චිත්‍රපටයයි. මෙහි එක්තරා අනුවේදනීය අවස්ථාවක ගැයුණු පසුබිම් ගීයක් මට මේ මොහොතේ සිහිවෙයි.
”කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරු ලියා....”
මේ තනුව ඒ චිත්‍රපටය සමඟ කෙතරම් බද්ධ වී ද යත්, මම ශාලාවේ සිට කඳුළු සැලුවෙමි. මෙහි සංගීතය ක්ලැරන්ස්ගේ බව එකල මම දැන නොසිටියෙමි. එසේ ම “අපේක්‍ෂා” වැනි චිත්‍රපටවල “සඳතනිවෙලා” “සොඳුරු ලොවට මල් වැහැලා” වැනි අමරණීය තනු ක්ලැරන්ස් අතින් නිර්මාණය විය.
මිල්ටන් මල්ලවආරච්චි යනු ගායනය උපතින් ම ගෙන ආ පුණ්‍යවන්තයෙකි. ඔහු ගයන පී‍්‍රතිමත් ගීයක වුවද ශෝකයක් රැඳී පැවතීම ඔහුගේ හඬෙහි විශේෂත්වයයි. මේ සියල්ල එකට එක්වූ කළ රසභාව පිරි ගීයක් බිහිවීම අරුමයක් නොවේ. ඈත් ඉඳහිට මේ ගීතය ගුවන් විදුලි යන්ත්‍රයකින් හෝ, කොහේ හෝ තැටියකින් මට ඇසෙයි. මගේ සිත එක්වර ම පාසල් සමයවෙත ඇදීයයි. පන්ති කාමරයක ලියලා වැඩෙන සුන්දර ප්‍රේමයක් මා මනසේ මැවෙයි. ඉඳහිට ඔවුහු දෑස්වලින් කතා කරති. එහෙත් කලකට පසු ඔවුහු නාඳුනන උන් සේ ඉවත බලා ගෙන ගමන් කරති. මම ද එදා භෞතික විද්‍යා පන්තියේ මගේ ඇස ගැටුණු යුවතිය සිහිවෙයි. ඈ දැන් කොහි ඇති ද?
No comments:
Post a Comment