Wednesday, February 13, 2013

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි...


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි
___________________
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

පියකු දියණියකට දෙන දායාදය කුමක් ද? එය මුදලින් ලක්‍ෂ ගණනක් විය හැකි ය. එසේ නැතිනම් ගොඩමඩ ඉඩකඩම් විය හැකි ය. ඒ සියල්ල තම දියණිය ගේ භෞතික දියුණුව උදෙසා ය. එය ද කළ හැක්කේ ඇති හැකි පියවරුනට පමණක් ම ය.

ඒ හැරුණු විට පියකුට තම දියණියට දීමට වෙනත් දායාදයක් නොමැතිද? අම්මා කෙනකු ලෙය කිරට හරවා දරුවකු ගේ සිරුර පෝෂණය කරන්නාක් මෙන් පියකුට අතිමහත් වූ දයා, කරුණා ගුණයෙන් ද අපරිමිත සෞන්දර්යයකින් ද තම දරුවන් පිරිපුන් කළ නොහැකිද? එයට පිළිතුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඉහත සඳහන් පද රචනයේ සැඟැවී පවතියි. පැරැණි ජනකවියක් මේ ලියන මොහොතේ මට සිහියට නැෙඟයි.

ලියට ආභරණ නම් කල් කිරියාව
හොඳට රැකගන්න එකමද සිරියාව
එමට වස්තු තිබුණත් ගොඩමඩ යාව
කුමට ලියගෙ කැත වුණි නම් කිරියාව

මෙය එක්තරා දුරකට උපදේශාත්මක ජන කවියකි. එහෙත් රත්න ශ්‍රී ගේ නිර්මාණය උපදේශාත්මක මුහුණුවර ඉක්මවා ගිය සෞන්දර්යාත්මක නිර්මාණයකි. එහි අන්තර්ගත පණිවුඩය හා හැඟීම් කිසිදු බලහත්කාරකමකින් තොරව රසිකයන් ගේ ලේ ඇට මස් සිසාරා ගමන් කරයි. එසේම ඒ පද මාලාව සෞන්දර්යාත්මක ඕජෝගුණයෙන් පිරිපුන් ය. සාර්ථක සරල ගීයක, සාර්ථක කවියක් පවතින්නේ ය යන අදහස තවදුරටත් මේ මඟින් තහවුරු වෙයි.

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි

රැයේ මිහිරි ම වෙලාව කුමක් ද? එනම් රාත්‍රිය ස්වභාවධර්මයේ මනස්කාන්ත සෞන්දර්යයෙන් පිරි වෙලාවයි. නිර්මල සඳඑළිය, බැබළෙන තාරකා, සීතල මඳ සුළඟ, රැයේ පිපෙන මල් සුවඳ, සඳ එළිය සිපගත් තුරුලතා, කැඩපතක් සේ දිලිසෙන නීල වැව්දිය, රැය තුළ මැවෙන්නාවූ සොඳුරු දර්ශනයෝ වෙති. මේ නිර්මාණයේ මුණගැසෙන්නේ පියකු නම් මේ සෞන්දර්යය ප්‍රථමයෙන් විඳින්නේ ඔහු ය. තම දියණියට මේ මිහිපිට සෞන්දර්යය නොපෙන්වා සිටීමට ඔහුට සිත් නොදේ. මේ සෞන්දර්යයේ වින්දනය පරපුරෙන් පරපුරට දායාද කළ යුතු ම ය.

”ඔබ අවදියෙන් නම්” නැමැති යෙදුම ව්‍යංගාර්ථ ජනිත කරවන්නකි. “නින්දට නොයා සිටී නම්” යන්න එහි මතුපිට අර්ථයයි. ඇය “සෞන්දර්යයට දෑස් විවර කිරීමට සූදානම් ව සිටින්නියක නම්” යන අරුත ඒ තුළින් මතු ව එයි. සොබා සොඳුරු බව ඉදිරියේ තම දියණිය නිද්‍රාගත ව නොව අවදිව සිටීම පියා ගේ ප්‍රාර්ථනයයි.

”දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි”

ඇරිය යුත්තේ නිවසේ වසා ඇති දොර පමණක් ම නොවේ. කිසිවක් රස නොවිඳ සෞන්දර්යය වෙනුවෙන් හදවතේ දොර වැසී ඇති නම් ඒ දොර ද ඇය විවර කළ යුතු ය. එසේ නම් ඇගේ දෑස් ඉදිරියේ අප්‍රමාණ වූ සෞන්දර්යයක්, රාත්‍රිය ඇය වෙනුවෙන් ම ඉතිරි කර තිබේ. පියා මේ මිහිරි දේවල් අත්විඳ හමාර ය. ඔහුට අවශ්‍ය වන්නේ ඊළඟ පරපුරේ දෑස් මේ සෞන්දර්යය වෙනුවෙන් විවර කිරීමටයි. “මේ මිහිරි දේවල් නුඹටමයි” යන ප්‍රකාශයෙන් පියාගේ ඇති ඒ උත්තම ප්‍රාර්ථනය අර්ථවත් වේ’

එතැන්සිට රචකයා විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබනුයේ රාත්‍රියේ චමත්කාරයයි. කවියා වූ කලී විටෙක ඉන්ද්‍රජාලිකයෙකි. සියලු ස්වාභාවික වස්තූන් ඔහු තම කාව්‍ය ලෝකයේදී තම අණසකට හසුකර ගනී. එය සාහිත්‍යයේදී උත්ප්‍රේක්‍ෂාලංකාරයයි. පියා දියණියට පෙන්වන රාත්‍රියේ මිහිරිම වේලාව, රත්න ශ්‍රී මෙසේ චිත්‍රයට නඟයි.

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි

සේපාලිකා මල් හා නිල් තාරකා රාත්‍රියට හිමිකම් කියන්නෝ ය. මුලු ලොව ම නිදිගත් මොහොතක ඔවුහු රිසි පරිදි හැසිරෙති. සේපාලිකාවෝ තුරු මතින් බිමට බැස රිසිපරිදි සුවඳ දෙමින් ඇවිදිති. තාරකාවන් සිටින්නේ බිම බලාගෙන ය. නිමල වැව් දියෙන් ඔවුහු තමන්ගේ රුව නරඹති. ඒ ඔවුන් වැව්දියට පෙම් බඳින යාමයයි. ස්වභාව ධර්මය සමග කරන ගනුදෙනුවේ දී රත්න ශ්‍රී තරම් ප්‍රතිභාව දක්වන රචකයෝ විරල ය. පියා තම දියණියට මේ සියල්ල ප්‍රදර්ශනය කරමින් පවසන්නේ මේ මහපොළොවේ සොඳුරු බව වටහා ගත්විට තම දියණිය නොනිමි ආනන්දයකට පත්වන බවයි.

”මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනිවම හිනාවෙයි...”

පියා තම දියණියට රාත්‍රියේ අසිරිය පෙන්වද්දී රචකයා සොබාදමේ සොඳුරු බව සුවහසක් රසිකයන්ට ප්‍රදර්ශනය කරනු ලබයි. රසිකයෝ ද දියණිය හා සමාන්තර ව මේ මහපොළොවේ සොඳුරු බවෙන් ආනන්දයට පත්වෙති. මේ සියලු දෑ තම දියණියට ප්‍රදර්ශනය කරන පියා අවසානයේ තම දියණිය තුළ ජනන කරවන්නේ් අතිශයෙන් කෘතවේදී උත්තම හැඟීමකි.

”ගන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි”

යමකු කළුවරට පෙම් කරන්නේ නම් ඔහු හෝ ඇය ඉර හඳ තරුවලට ණය ගැතිය. මක්නිසාද ඉර, හඳ, තරු ඉවත් වුවහොත් ගන කලුවර පමණක් ඉතිරිවන බැවිනි. ණය ගැතිබව යනු කෘතඥ බවයි. ගන අන්ධකාරයට ආදරය කරන්නන් ඉර, හඳ තරුවලට ණය ගැති බව ප්‍රකාශ කිරීම ප්‍රබල කාව්‍යොක්තියකි. ඉර හඳ තරු වල ආලෝකය පමණක් නොව කළුවර ද අපට දායාද කරන්නේ ස්වභාව ධර්මයයි. ඒ වෙනුවෙන් මේ ලෝකය අපෙන් මුදලක් අය කරන්නේ නැත. අපෙන් කිසිවක් අයැද සිටින්නේ් ද නැත. එසේ නම් අපට මෙතරම් දෑ දායක කළ ලෝකයට අප ද කුමක් හෝ දායාද කළ යුතු ම ය.

”ලොව දුන්න දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි” යන ප්‍රකාශයෙන් රචකයා බලාපොරොත්තු වන්නේ මේ අතිමහත් කෘතවේදී බවයි.

”ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි”

මේතරම් දෑ අප වෙනුවෙන් නොමිලයේ ලබාදී ඇත්තේ ලෝකය විසිනි. ඒ ආදරය දිගටම පවතින්නේ ලෝකය හෙවත් මුළු මහත් ස්වභාව ධර්මයට අප ද ආදරය කරන්නේ නම් පමණි. දියණියන් තුළ පමණක් නොව පුතුන් තුළ ද මේ දයාබර හැඟීම වර්ධනය කිරීම උත්තම කාර්යයකි. මක්නිසාද අප ස්වභාව ධර්මයට හිරිහැර කරන සෑම විට ම ස්වභාවධර්මය ද අපට අයහපත් ප්‍රතිචාර දක්වන බැවිනි.

මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ පද්‍ය නිර්මාණයකි. “පොඩි මල්ලියෙ” නමින් නම් කර තිබූ ඒ පද්‍ය නිර්මාණයෙහි මේ අනුභූතිය මීට වඩා වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරනු දක්නට හැකි ය.

”කුරුල්ලෝ අඹලා
සතපනහේ කුලිය ගන්ට
දවස පුරා වෙලේ රකින පොඩි මල්ලියේ
නුඹේ කකුල් රිදෙනව නම්
වෙල අද්දර ගල් ඇන්දේ වාඩිවෙයන්
ගල එතකොට පුටුවක් වෙයි...”

මේ ආකාරයෙන් වෙලේ කුරුල්ලන් එළවන පොඩි මල්ලිට ස්වභාව ධර්මයෙන් නොමිලයේ ලැබෙන දායාදයන් ගණනාවක් කවියා ඉදිරිපත් කරයි. ඇල දොළ, තුරු සෙවණැලි, කුරුලු ගීත පමණක් නොව සඳ එළිය ද “පොඩිමල්ලිට” ස්වභාව ධර්මයෙන් නොමිලයේ ලැබෙන දායාදයන් ය. කොඩිතුවක්කු කවියා ද තම පද්‍ය අවසානයේ දී දැනුවත් කරන්නේ ස්වභාව ධර්මයට කෘතවේදී විය යුතු බවයි.

”මේ සියල්ල නුඹට ලැබුණෙ
ලොවින් නේද?
මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට
එකපාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට ඉඩක් දියන්
එක කරලක් අරන් යන්ට”

මෙහිදි කවියා “පොඩිමල්ලී” ගෙන් සංකේතවත් කරන්නේ අනාගත පරම්පරාවයි. රත්න ශ්‍රී විජේසිංහයන් ද දියණියන්ගෙන් කරන ඉල්ලීම අනාගත පරපුරෙන් ම කරන ඉල්ලීමකි. මේ දෙදෙනා ම ඉටුකරන්නේ කලාකරුවකු ගේ සැබෑ කාර්ය භාරයයි.

ගී පද මාලාව කාව්‍යයක සීමාව ඉක්මවා යන්නේ සංගීතමය අරුතක් හා මිනිස් හඬ එයට එක්වීමත් සමඟයි. මෙහිදී රෝහණ වීරසිංහයන් තම භූමිකාව මනාව ඉටුකරයි. ගීතය ආරම්භයේ ම මන්ද්‍ර ස්වරයෙන් වස්දඬුවක රාවයක් නැගෙයි. ඒ සමඟ තවත් තත් භාණ්ඩ කීපයක් මුසුවෙයි. ඊට සමාන්තර ව දිවුල්ගනේ නම් වූ සුවිශේෂ ගායකයාගේ හඬ මතු ව එයි. ඒ හඬ ඔස්සේ මේ සුන්දර රාත්‍රිය උදාවෙයි.

ලෝකයේ සුන්දර බවට සංවේදී වන තරමටම මිනිස් සිත ලෝකයට ඇලුම් කිරීමට පෙලඹෙයි. එබඳු මිනිසුන් නිසා ලෝකය තවතවත් සුන්දර වෙයි. දරුවන්ට ලෝකයේ සුන්දර බව වටහා දීම වැඩිහිටියන්ගේ වගකීමයි. මේ අපූරු පද මාලාව ඒ වගකීම පමණටත් වඩා ඉටු කරයි. මගේ අවසාන ඉල්ලීම ඇතැම් ගුවන් විදුලි නාලිකාවන් වෙතයි. දැන්වත් අවදිවන්න. මේ රැයේ මිහිරි ම වෙලාවයි.

No comments:

Post a Comment