වරෙන් ඇවිත් යන්න නොවෙයි නවතින්න....෴
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ළඟයි දුවේ
__________________
ගී පද :- රත්න ශ‍්‍රී විජේසිංහ
ගී තනු :- රෝහණ වීරසිංහ
ගී හඬ :- සුනිල් එදිරිසිංහ
ඇතැම් සමාජයක දියණියකගේ උපත සෞභාග්‍යයකි. තවත් සමාජයක එය අභාග්‍යයකි. අපේ සමාජය මේ දෙකට ම අයිති නැත. අපගේ සමාජය දරු උපත සෞභාග්‍යයක් සේ සලකති. කෘෂි අර්ථ ක්‍රමයක පිරිමි දරුවකුගේ උපත පවුලට විශාල ශක්තියක් වුව ද ඕනෑම පවුල් පරිසරයකට දියණියකගේ ළතෙත් සෞම්‍ය වූ නිවසේ රාජකාරිය අවැසි ම ය.
එය වඩාත් සහය වන්නේ මවට වුවත් එහි වුවමනාව වඩාත් දැනෙනුයේ පියාට ය. විඩාබර වූ පියාට අවැසි වන්නේ වතුර කෝප්පයක් පමණක් නම් එය ඕනෑම කෙනකුගෙන් මඟ තොට දී වුව ලබාගත හැකි ය. එහෙත් දියණියගේ මියුරු තෙපුල්, අත්පා පිරිමැදුම් කෙළිලොල් සිනා ආදී ස්ත්‍රිත්වයේ ආවේණික මෘදු බව විඩාබර ගතට අමා වත් දිය බිඳ පරදා නැඟී සිටින්නේ ය.
අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය.
රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය.
රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්, බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල් මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය.
මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි. එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා නොකියාම යන්න ගොස් ඇති බව ය. වඩු මඩුවේ වඩු රාළ ඇතත් දැන් එය පාළු වී ඇත. බත් වේල ගැන තේ වතුර ගැන ඔහුට ගානක් නැත. තමා හැර යාමට දියණියට වූ අඩු පාඩුව කුමක් ද?
“චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ...
මේ වඩු කාර්මික පියාගේ දුක් අඳෙීනාවත් ඔහු දෑසින් දියකර හැරිය දැඩි බවේ අසාර්ථක භාවයත් රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ සිතෙහි බොහෝ කාලයක් ලැගුම් ගෙන තිබුණි. ගීතය ලියැවෙන්නේ අසූව දශකයේ මැද භාගයේ ය. අපගේ චිරන්තන සාහිත්‍යයේ පවා බහුල ලෙස දැකිය හැකි වන්නේ දරු සෙනෙහස සමඟ මවගේ සම්බන්ධතාවය යි. දරුවන් වෙනුවෙන් හඬන පියවරුන් පිළිබඳ කවි හෝ කතා සුලබ නැත. සැබෑ ලෝකයේ කෙසේ වෙතත් දරු සෙනෙහස වඩාත් සමීප වන්නේ මවට ය. රත්නශ්‍රීට වෙස්සන්තර ජාතක කාව්‍යය සිහිපත් වේ.
“සඳ සේ ලප විලසේ දවසක්
වෙන් නූවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන්
රැකි දැයි නිතියෙන් මා
සොඳ සේ අප දන් දුන්නෙත්
වැදුමෙන් වද අම්මා
අප සේ පිය රජුනි දනට
නො දෙන්න අපෙ අම්මා”
වෙසතුරු නිරිඳා සිය පුතු හා දියණිය ද දන් දෙන්නේ ය. වඩු රාළ සිය දියණිය ගිය සොවින් හඬන්නේ ය. දරුවන්ගේ හා මවගේ බැඳීම වෙස්සන්තර කාව්‍යකරුවා දකින්නේ “සඳ සේ ලප විලසේ” ය. එය අවියෝජනීය සම්බන්ධයකි. එහෙත් මේ දියණියට මව් සෙනෙහසටත් පිය සෙනෙහසටත් දෙකට ම සිටියේ පියා පමණි.
වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළේ ගැමි කවියකු යැයි සැලකේ. එහෙත් ඔහු සඳෙහි ලප දකින්නේ ය. විද්‍යාව එය දකින්නේ ආවාට ලෙසිනි. එහෙත් ගැමියා දකින්නේ සඳෙහි සාවෙකි. රත්න ශ්‍රී හු වෙනස්ම ආකාරයේ ගැමියකු වෙති. ඔහු මේ වඩු රාළගේ සඳ මඬලේ දකින්නේ සාවියකි. ඔහු මුල් වරට සාහිත්‍යයේ සඳ සාවා ගේ ලිංග විපර්යාසයක් සිදු කරන්නේ ය.
“ලාබ රත්තරං දිළිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ”
රත්න ශි‍්‍ර විජේසිංහයන් නිතර ම සිය නිර්මාණකරණයේ දී තමන්ගේ අත්දැකීම පෝෂණය කරගන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සාහිත්‍යාංගයන්ගෙනි. මේ වඩු රාළගේ දුක් අඳෙීනා සමඟ ඔහු රුසියානු මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ “තානායම්කරුවා” නම් කෙටි කතාවේ කථානායකයා වන දුන්‍යාගේ පියා හා සමපාත කරන්නේ ය.
තානායම්කරුවකු වන ඒ මහලු පියා ගේ තානායම වෙත වරක් පැමිණෙන නගරයේ ජේත්තුකාර තරුණ සිටුවරයකු තානායම්කරුගේ රූමත් දියණිය වන දුන්‍යා රවටාගෙන නගරයට පැන යන්නේ ය. මහලු පියා නගරය වෙත දුෂ්කර වූ ගමනක් යන්නේ දියණිය දැක ගැනීමට යි.
එහෙත් ඔහුට දියණිය දැක ගැනීමටවත් ලැබෙන්නේ නැත. ජේත්තුකාර සිටුවරයා ජනේලයෙන් සල්ලි මිටියක් විසි කරන්නේ ය. පියාට ඉන් පලක් නැත. ඔහු එයට අත තබන්නේ වත් නැත. ඔහු කල්පනා කරයි.
“නගරවල ඉඳල එන ජේත්තුකාරයන්ට රැවටිලා පැනල ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්‍යා වෙන්න බෑ. ඉදිරියේ දීත් කෙල්ලො පැනල යාවි. ඒගොල්ල අද සේද ඇන්දට හෙට එයාලට පාර අතුගාන්න වෙනව. රත්න ශි‍්‍ර සිහි කරන්නේ ඒ පුවතයි. වඩු රාළගේ දියණිය දුන්‍යාගේ පරපුරේ ය.
“උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”
ඕනෑම සභ්‍ය සමාජයක පියකුට තම දියණියන් පිළිබඳ ඇති විශාල ම බලාපොරොත්තු දෙක කැයි හැඟේ. ඉන් සමාජයට හොඳින් විදහා දැක්වෙන්න නම් දියණියන් ලොකු මහත් කර හොඳින් අධ්‍යාපනය ලබාදීම, රැකියාව ගේ දොර වැඩ ආදිය යි. අනෙක් සැඟවුණ බලාපොරොත්තුව නම් නම්බුකාර ලෙස චාරිත්‍රානුකූලව පොරුව මත හිඳුවා ඇය යුග දිවියට එලඹීමයි. දියණිවරුන්ගේ හැදියාව පිළිබඳ සීමා වැට කඩුලු දැමෙන්නේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට ය.
දිනෙක පිවිතුරු චරිතවත් ශීලාචාර දියණිය පෝරුව මත හිඳ බුලත් හුරුලු දී පියාට වැඳ කුලගෙට වදින අයුරු විඳීමට මේ වඩු කාර්මික මහතා ද බලා සිටියා විය හැකි ය. එහෙත් දියණිය ඊට ඉක්මන් වූවා වැඩි ය. ඈ යන්න ගියේ නොකියා ම ය. පියාට ඒ බව හඟවන පෙර නිමිති තිබෙන්නට ඇත. රෝසමල් යහන් පිළිබඳ ඈ මැවූ සිහින පියාට සන්නිවේදනය කිරීමට මව සිටියේ නැත. මාල ගිරවුන්ගේ ගීතය දියණියට මිස පියාට ඇසුණේ නැත.
“මාල බැඳන් සුදු යකඩෙන්
රෝසමල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ
සිංදු කිව් වෙලේ”
වඩු මඩුව ඉදිරියෙන් ගිය පාපැදි මෝටර් බයිසිකල් පිළිබඳ වඩු රාළට ඒ තරම් නිනව්වක් නැත. ඒ වායේ නළා හඬ සංඥා කළේ කාටදැයි එදා තේරුණේ නැත. සුදු යකඩ මාල මුදු පැලඳි ඉලන්දාරින්ට වඩු මඩුව ඉදිරියේ පාර තහනම් නැත. දියණියට මිදුල ද තහනම් නැත. වඩු රාළට වඩු මඩුවේ ඕනතරම් වැඩ ඇත. දියණියට මාල වළලු තනා දිය යුතුය. සුදු යකඩෙන් නොව රත්තරනින් ය. එහෙත් ඊට පෙර දියණිය සුදු යකඩ මාලයකට පෙම් බැන්දා ය.
“හීනෙනුත් හිතුනෙ නෑ මට
මොකද කාරණේ
පාර මතක නම් තාමත්
ගේ ළඟයි දුවේ”
රත්තරං දුවේ රනින් සැරසිය යුතු උඹේ කරට සුදු යකඩ මාලා ගැළපෙන්නේ නැහැ. කවුරු එක්ක ගියත්, කොහේ හිටියත් වරෙන්, ඇවිත් යන්න නෙමෙයි නවතින්නම, මේ තාත්තා උඹට ඈත නෑ. වඩු මඩුවේ කොට බිත්තියක් මත වාඩි වී වඩු රාළ විවිධ දිශාවන්ට දිවෙන අතුරු මාර්ග බහුල පාර දෙස ඔහේ බලා සිටින අයුරු තවත් දිනෙක රත්නශ්‍රී ට දැකගන්නට ලැබුණි.
වීචාරය රසවත්ය,ඔබේ උත්සාහය සාර්ථකය
ReplyDelete