ඔබේ සුවඳ රැඳි සමරු පොත....෴
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි දහසක් සිතක උපන්නද
කුමක් ලියන්නද සමරු පොතේ
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියා තියන්නද මියුරු සරින්
________________
පද : ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය
ඔබ ළඟ සුරැකිව තිබුණු සමරු පොත ඔබට මතකද? තරු ඇලවූ, මල් පෙති ඇලවූ චිත්‍රවලින් හැඩගැන්වූ පාට පාට පිටු ඇති සමරුපොත. ඒ ඔබේ ජීවිත වසන්තයේ ආරම්භක අවදිය නොවේද? කෝකිලයන් විසින් හඬවන ලද යෞවනයේ සංඥාවාදනය ඔස්සේ ඔබේ සිත ආස්වාදයට පත්වුණේ නැත්ද? කෙසේ වුවත් ‘සැමරුම්’ යනු ජීවිතයේ ඉතිරිවන ශේෂයන්ය. මක්නිසාද යත්; ‘මතකය’ යනු චිතකයක දවා හළු කරවන්නට නොහැකි දෙයක් නිසාය.
අපේ ජීවිත කාලයේදී කවදාවත් අමතක කරන්න බැරි බොහොම සුන්දර අවධිය තමයි ඒ හිරිමල් යොවුන් විය. මේ කාලෙට බොහෝ දෙනා ජීවත් වෙන්නෙ හීන ලෝකවල. ඒ හීන ලෝක පසුකලෙක කඩා වැටෙනව කියල හිතන්න තරම්වත් දැනුමක් ඒ කාලෙට ඇතිවන්නෙ නැහැ.
ඔබ අපි කවුරුත් පසු කර තිබෙන මේ කාල සීමාව තුළ අපිට කොයි තරම් යාළු මිත්‍රයෝ ඉඳල තිබෙනවාද? ඒ යාළු මිත්‍රයින් ලවා අපි කොයි තරම් සමරු සටහන් අපේ පොත්පත් වල තබාගෙන තිබෙනවාද?
සමහර විට අප ආදරය කරන අපිට ආදරය කරන අයගේ සමරු සටහන් පවා ඒ සටහන්වලට එකතු වී තිබෙන්නට ඇත්ද?
මේ සියලුම මතක හා සැමරුම් මිනිසුන්ටම පොදු දෙයකි. මතක ඇසුරින් සිත සිතා දුක්වන්නේ ද සතුටුවන්නේ ද මිනිසාය. නෙතට කඳුළක් සේම සිතට සුවයක් දෙවන යමක් ඔබේ ජීවිත මතක පොතේ ඇති බව දනිමි.
ඉදින් කවියෝ ද මේ සැමරුම් – මතක - සිහිවටන ප්‍රස්තුත කරගෙන නානාප්‍රකාර නිර්මාණ පෙළගස්වන්නාහ.
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි දහසක් සිතක උපන්නද
කුමක් ලියන්නද සමරු පොතේ
ඔබේ සමරු පොත දිගුකරගෙන ඔබ බලාහිඳියි. එහි කුමක් ලියන්නදැයි මට නම් හිතාගන්නවත් බැරිය. ඒ තරමට සිතුවිලි දහස් ගණන් සුවහස් ගණනින් සිත තුළ නැඟ එයි. එය පද කිහිපයකට ගොනුකරන්නට කොහෙත්ම බැරිය. ඇරත් සියලුම මතක එක පටුනකට කොහොම ගේන්නද? දේදුනු පාටැති ඔබේ සමරු පොතේ පිටුවෙන් පිටුව හැඩවී ඇත්තේ ඔබට සුබ පැතුම්ය.
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියා තියන්නද මියුරු සරින්
නමුත් ලියාගන්නට බැරි කිසියම් දෙයක් මසිතේ තිබෙනවාය. ඔබේ දෑස මගේ දෑස්වලට කියූ ඒ රහස... හදවතේ නිදන්ගත වූ ඒ රහස කෙසේ නම් වදන්ගත කරන්නද? ආදරය නම් වූ වෙරළ සමීපයේදී අපි එදා හමුවූයෙමු. ඒ අරුණෝදය අපේ ජීවිතවල අරුණෝදයයි. නොහොත් යෞවනත්වයයි. අපේ ප්‍රේම පුරාවෘත්තය ඇරැඹුණේ ඒ කාලයේදීය. ඒ කතන්දරය වදන් දෙක තුනකින් එහි ලියා තබන්නට හැකි වේදැයි මම නොදන්නෙමි.
ඈත දිහාවක ආදර වෙරළේ
අප හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පෙම් කතන්දරේ මම
ලියා තියන්නද සමරු පොතේ
මේ ගීතය නිර්මාණය වුණේ හැත්තෑව දශකයේ අගභාගයේදීය. ගීය ගැයූ අබේවර්ධන බාලසූරිය සංගීතවේදියා අද අපට සැමරුමක් තබා වෙන්ව ගොසින්ය. සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තත්සර මුසුවුණේ ප්‍රවීණ නිවේදකයකු සේම ගීත රචකයකු වන ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ පදවැලක් හා සමඟින් ය.
ප්‍රසංග වේදිකාව ජයගත් නිවේදකයෝ අතිශය දුර්ලභයහ. එයිනුත් මුල්ම යුගයේ ප්‍රසංග වේදිකාව ජයගත් විශිෂ්ට ගණයේ නිවේදකයෙකි උක්ත පදරචකයාණන්. ප්‍රවීණ කලාකරු ධර්ම ශ්‍රී වික්‍රමසිංහ දැක්වූයේ මෙන්න මේ වගේ අදහසක්..
"මේ ගීතය මම ලිව්වෙ 70 දශකයේ අග කාලයේදී. ඒ කාලයෙ මම ලංකාව පුරා එළිමහන් සංදර්ශනවල නිවේදන කටයුතු සඳහා යනව. මේකට පාදක වුන සිද්ධිය වුනේ කොයි පළාතෙද කියන්න නම් මට දැන් මතක නෑ. නමුත් සිද්ධිය මතකයි..."
"එක දවසක් මම එළිමහන් ප්‍රසංගයක නිවේදන කටුයුතුවලට ගිහින් ඉන්න අවස්ථාවක ලස්සන තරුණ ගැහණු ළමයෙක් එයාගෙ සමරු පොත මා දිහාට දිගු කරල අත්සන ඉල්ලා සිටියා... මම හිතන්නෙ ඒ කාලේ අපට තරුණකමත් එක්කම තිබුණු ජනප්‍රියත්වය නිසා වෙන්න ඇති.. කොහොම හරි මම මගේ අත්සන එහි තැබුවා. නමුත් මගෙ තරුණ වයස නිසාදෝ ඒ රුව මගේ මතකයේ නිතරම තිබුණා. ඒ සිදුවීම එතැනින් ඉවර උනා. මම කොළඹ ආවා. ඇවිත් අර වෙච්ච දේ ගැන යළිත් ආවර්ජනය කරමින් සිටියා. ඔන්න ඔය වෙලාවෙ තමා මට "සිහිවටනය සේ කුමක් ලියන්නද" කියන වචන ටික හිතට ආවෙ...."
"අබේ මගේ කිට්ටුවර මිත්‍රයෙක්. ඔහු තමා මගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනාලයා වුණෙත්. ඉතින් ඒ සොඳුරු මිතුරු දම ඔස්සේ මේ ගීය ඔහුට යොමුවුණා. මම වැඩිපුර ගීත ලියාපු කෙනෙක් නෙමෙයි. ගීත 20ක් විතර තමයි ලිව්වේ. එසේ සීමාවුණේ එවකට නිවේදකයන්ගේ ගීත රචනා කිරීම සම්බන්ධයෙන් තහංචියක් පැනවූ නිසයි. කෙසේ වෙතත් මේ ගීය එවකට ඉතා ජනප්‍රිය වුණා. වික්ටර් රත්නායකයන්ගේ මියුරු සංගීතයත් පදවැල තවත් හැඩ කළා..”
අබේවර්ධනයන්ගේ පිය බිරිඳ නිරංජලා කීවේ ධර්ම ශ්‍රී, අබේවර්ධනයන්ට යොමු කළ පළමු ගී දෙක වන මෙම ගීතයත් ‘නදීශානි’ ගීතයත් ඔහු බොහෝ ප්‍රියකළ ගී දෙකක් බවයි.
ඉතින්.. අප හැමදෙනාම සතුව බොහෝ සැමරුම් තිබෙයි. හැත්තෑව දශකයේ අගදී ලියැවුණු මේ ගීයේ සරල සුගම වාංමාලාව සමඟ හදබැඳගන්නා මියුරු සංගීතයට අබේවර්ධන බාලසූරියගේ ගැඹුරු හඬ ඒ සැමරුම් පණගන්වනවා විය හැකියි.
සමරු පොත්වල පිටුවෙන් පිටුව පෙරැළිලා යයි.
ජීවිතයත් හරියට සමරු පොතක් වගේය. ඇතැම් කෙනෙක් රෝස පිටුවක් තෝරා එහි නිල් පාටින් යමක් ලියා තැබූ බව ඔබට හොඳට මතකය. අරුණෝද යෞවනයේ දී ඒවා බොළඳ වැඩ හෝ බොළඳ කතාවල් යැයි කවදාවත්ම සිතුණේ නැත. නමුත් ඔබ අද නම් ඒවා බොළඳ වැඩ යැයි සිතනවා විය හැකිය.
සාජහාන් මහාරාජයා තම ආදරණීය බිරිය සිහිවන්නට අග්‍රා නගරයේ ටාජ්මහල් නම් විශාල මන්දිරය ඉදිකළේය. ඉතින් සමරු පොතක තැබූ දුප්පත් අහිංසක සමරු සටහනක් ඒ සටහන තැබූ අයට ටජ්මහලකටත් වඩා වටිනවා වන්නට බැරි නැත.
No comments:
Post a Comment