Wednesday, February 13, 2013

Senda ahasa wage

කියන්න ඇයි ඔබ නාවේ?...෴

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

කන පලඳින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඬ හඳ යැයි ඔබ රැවටේවී

ගෙල පලඳින්න ගෙනා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසි කෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී
________________
පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

ඔබ යම් කිසිවක් බලාපොරොත්තුවෙන් සිටින විට ඔබේ සිතට පාළුවක් නොදැනෙයි. එසේ ම ඔබ යම් කිසිවෙකු ගැන බලාපොරොත්තු තබාගෙන සිටින විට ඔබට කාන්සියක් ද නොදැනෙයි.

ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අපි මේ බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිමු. එසේ දල්වාගෙන සිටින බලාපොරොත්තු නිවී ගිය විට අපේ සිත් ඉන් දැවී යාම ස්වාභාවික ය.

පෙම්වතා හමුවන මොහොත ගැන සිත සිතා සිටින පෙම්වතියට ඊට එහා වෙනත් පැතුමක් තවත් නැත. සුළඟේ සර සර හඬටත් පොළවේ වැලිකැටවල හඬටත් හිත සැලෙයි. ඒ විතරක් ද තමන් ම හුස්ම ගන්නා හඬටත් තමන්ගේ ම සිත සැලෙයි. පෙම්වතියන්ගේ හැටි එහෙමය.

එකම පෙම්වතකු පතාගෙන සිටින පෙම්වතියන්ගේ සිත් කොහොමත් එහෙම ය. මිනිසුන් සහ ගැහැනුන් අතර පවතින්නා වූ මේ සොඳුරු සම්බන්ධතාවයට අර්ථකථන දිය නොහැකි නිසාදෝ ඊට ‘ආදරය’ යන කෙටිම වචනය යොදා ගන්නට සිදුවෙයි.

කන පලඳනාව පැලඳුවේ ඔබ වෙනුවෙන්ම ය. ඔබට මිසක් වෙන කාට මම මගේ ලස්සන පෙන්නන්නද? ඒ විතරක් ද? ගෙල පලඳන්නට ගෙනා සමන් පිච්ච සුවඳ ද ඔබ වෙනුවෙන් ම ය. ඔබට මිස කාට මම ඒ සුවඳ පුද දෙමිද?

කන පලඳින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඬ හඳ යැයි ඔබ රැවටේවී

ඒත් දහසක් බලාපොරොත්තු මට දී ඔබ ආවේ නැත. ඔබ සිතන්ට ඇත්තේ මට රිදවන්නට වෙන්නට ඇත. ඔබ ඒ තරමට ම නපුරු ය. හොඳයි මම මගේ තෝඩු කඩා අහසට විසිකරමි. මගේ ආදරය ශෝකයෙන් පළිගසන්නේ ඒ විදියටය. මට මගේ ගෙල පලඳින්න ගෙනා සමන් පිච්ච මල් ද අහසට දමා ගසමි. මට ඒ තරමටම ආදරය වේදනා දෙයි.

රාත්‍රියට අහස දෙස බලන්න. එවිට පෙනෙන අඩසඳ මගේ කඩා දැමූ තෝඩු ය. ඔබ දකින තරු ඒ සමන්පිච්ච මල් ය. ඉතින් දැන් ඔබට සතුටු ඇතිනේ...

ගෙල පලඳින්න ගෙනා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසි කෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

ප්‍රේමයෙන් නොසන්සුන් වූ සිතක ඉක්මන්කාරකමේ බොළඳ ස්වරූපය ඉස්මතු කරන්නට පද රචක ලූෂන් බුලත්සිංහලයන් දැරූ වෑයම අපූරු ය. ඒ මවා දෙන රූපක සහ උපමා ඔස්සේ අපේ සිත් මවා ගන්නා වාක්චිත්‍රය ද පෙර නොවූ විරූ එකකි. මේ ගීයේ විශේෂත්ව එයයි. පෙම්වතාගේ නොපැමිණීම නිසා නොසන්සුන් වූ පෙම්වතියකගේ නුරුස්සන සුලු හැඟීම්වලියට මීට වඩා තේරුමක් දෙන්නට ඇත්තටම බැරි ය.

ආදරය අඩුවෙන් ලැබෙන විට විඳින දුකට වඩා සැම විටම ආදරය වැඩියෙන් ලැබෙන විට විඳින්ට වන දුක වැඩි ය. ‘වැඩි සෙනේ දබරෙටයි’ කියා කියන්නේ ඒ නිසාමය. පෙම්වතාගේ නොපැමිණීම අසනීපයක් හෝ වෙනයම් හේතුවක් නිසා සිදුවන්නට ඇතැයි කියා සිතන්නට ඇගේ බුද්ධිය ඉඩ නොදෙයි. හදවත ඉස්මතු වී වහසි බස් කියන්නේ ඔහු තමාට රිදවන්නම හිතාගෙන මෙසේ නො ආ බවයි.

මේ චමත්කාරජනක ආදර නෝක්කාඩුව ගී ගත කළ ලූෂන් බුලත්සිංහල මේ ගීතය ගැන මෙසේ කතා කළේ ය.

“මේක ඇත්තටම ආදරවන්තයාගේ නොපැමිණීම උඩ ආදරවන්තියක ගේ සිතේ ඇතිවන සිතුවිල්ලක් විශේෂිතව කියන්නයි මම උත්සාහ කළේ. පේරාදෙණියේ සරසවියේ මගේ යහළුවෙකු සිටියා ඔහු එක පෙම්වතියකට එනවා කියා වෙනත් පෙම්වතියක් හමුවන්නට යන අවස්ථාවක් ගැන සිතද්දී තමා මෙය ලියැවුණේ. ඇත්තටම මේ පදවැලට සුදුසුම සංගීතයත් එච්.එම්. ජයවර්ධනයන් ගෙන් යෙදුණා. ඒ එක්කම මාලිනිගේ ගායනා විලාසයත් ඊට ම ගැළපුණා. මෙයත් හැත්තෑව දශකයේ නිර්මාණය වුණු ගීතයක්.”

ඊළඟට මට අදහස් ලබාගන්නට උවමනා වුණේ මේ අපූරු ගීතය සංගීතවත් කළ එච්.එම්. ජයවර්ධනයන් ගෙන්. ඔහු කීවේ මේ ලූෂන් ලියූ පදවල තිබෙන අපූර්වත්වය නිසාම ඊටම ගෝචර වන අපූරු තනුවක් නිර්මාණය වුණු බවයි. ඒ වගේ ම මාලිනී ගේ ගායන විලාසයේ තිබෙන අපූර්වත්ය ගැන ද ඔහු තෘප්තිමත්ව කතා කළා.

කෙසේ වෙතත් අපට සිටිය විශිෂ්ට ගණයේ ගායන ශිල්පිනියක වූ විශාරද මාලිනි බුලත්සිංහලයන් මේ ගීතයේ අරුත් හා භාවයන් වටහාගෙන ගැයූ විලාසයේ අපූරුව සදා රැඳි පවතියි. නොසන්සුන් වී කැළඹුණු පෙම්වතියකගේ හිතේ ස්වභාවය ඉතාම ළඟන්නා විදියට සංගීතවත් වී තිබෙන්නේ ඊට නොදෙවැනිවය. එදා සිට අද දක්වාම ප්‍රේම ලෝකවල නොසන්සුන්කම්, කැළඹිලි, හැලහැප්පිලි තිබෙනවා ඇත. කවියන්ගේ පන්හිඳ තුඩගට පුවත් සහ අරුත් සපයන මේ ප්‍රේමයේ ස්වභාවය කැළඹෙන - කැළතෙන - නිසලවන සයුර සේ ම නොවේ දැයි සිතමි.

No comments:

Post a Comment