මහ මෙව්නා උයනේ... නටයි කොළ වන්නම ලෙස මහබෝ...෴
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා
හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා
සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...
සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා
___________________________
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
කවිය හා ගීතය අතර වෙනස ගැන කෙනෙකු විමසන සෑම අවස්ථාවකදීම මානවසිංහයෝ මගේ සිහියට එති. සාර්ථක ගීතයක් තුළ සාර්ථක කවියක් පැවතිය හැකි ය. එහෙත් සෑම කවියක් ම ගීතයක් බවට පත්කළ නොහැකි ය.
මහගමසේකරයන්ගේ බොහෝ කවි පසුකාලීන ව ගීත බවට පත්විය. එහෙත් සිරි ගුනසිංහයන්ගේ එකද කවියක් හෝ ගීතයක් බවට පත්වූ අවස්ථාවක් මට සිහිපත් නොවේ. සේකරයන්ට කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මැනවින් පිහිටා තිබු අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ද කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මනාව ප්‍රදර්ශනය කළා වූ සාහිත්‍යධරයෙකි.
(ගුරු ගෙදර යන අතරමග, හෙවත් අකුරට යනවයි කියලා නැමැති නිර්මාණය, මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙකු වට කරලා, (ඇත් ගාලේ දරු පෙම) ආදි නිර්මාණ මේ සඳහා කදිම නිදර්ශන වන අතර “මහ බෝ වන්නම” නැමැති නිර්මාණය ද ඒ අතරට එක්කළ හැකිය.
“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැන්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.
“වැලිතල අතරේ - හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස - වැඩ සිට බුදු වුණ දා
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා
රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.
මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.
පරිසරය සමඟ කෙරෙන ගනුදෙනු තුළ ද මේ ප්‍රතිභාව සුවිශේෂ වූවකි. එතුමන් “රන්මුතු දූව“ චිත්‍රපටයට ලියු ගී පද මාලා මේ සඳහා නිදර්ශනයෝ වෙති.
“ගලන ගඟකි ජීවිතේ
දයා ලු ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපලු නටයි ගං තෙරේ”
(නන්දා මාලනී - නාරද දිසාසේකර)
ඒ අයුරින් ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.
මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.
“හිම කඳුවැටියේ - සීතල හෙවණේ
චන්දන තුරු පීරා - හැපී එන
මල් මුවරද රසිනේ
සමඟ මුසු - කෝමල මද පවනේ
ගැටීලා - පාවෙනා
සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකි ය.
“සත්සර නගලා
ටික ටික සෙල වී
සිරිමා බෝ හිමිගේ - මනෝහර
පලුපත් අතු රිකිලී - නටා ගිය
තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා
මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.
No comments:
Post a Comment