Friday, July 26, 2013


Kawuruwath ne

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි
සිදාදියත් ගමත් අතර ඉස්‌සර නම් ලොකුම ලොකු වෙනසක්‌ තිබුණා. ඒත් දැන් ගම නැහැ... සිදාදිය ගම ආක්‍රමණය කරලා...

ගොඩමඩ දෙකම සරුසාරය පලබරය
කටුරොද ගම්මානෙ තරමක්‌ පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්‌ඩිය පිහිටියේ ගම කෙළවරය


කේයස්‌... එහෙමත් නැත්නම් සාගර පළන්සූරිය කවියා එදා ගම දැක්‌කේ එහෙමයි. මොනවා නැතත් ගඟට... වැවට.... එදා ගමේ ලැබුණේ ලොකු තැනක්‌. ගමේ සුන්දරත්වය වැඩිවෙන්න ගඟෙන් හෝ වැවෙන් ලැබුණේ විශාල දායකත්වයක්‌.

ගඟෙන්.... නැතිනම් වැවෙන් වෙන්වන්නේ ගම්මාන දෙකක්‌.... මේ ගම්මාන දෙක යාකරන ප්‍රධාන පුද්ගලයෙක්‌ එදා හිටියා.... හේ තොටියා.... ඔරුවක්‌ පාරුවක්‌ පදවමින් ඒ ගමෙන් මේ ගමටත්, මේ ගමෙන් ඒ ගමටත් ගැමියන් එතෙර මෙතෙර වුණේ. තොටියාගේ ශක්‌තිමත් දෑත් දෙකට පිං සිද්ධ වෙන්න.

කවුරුවත් නෑ.... කවුරුවත් නෑ....
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්... ඉරගලත් වැටිලා... පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා... ඒ පාරුවට එළිය එන්න..... ඔහු ලන්තෑරුම සෙව්වා.... ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා...

මේ ගීය ලියුවේ හේමසිරි ගුණතුංග කේමදාස මාස්‌ටර්ගේ ඉල්ලීම මත...

කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා විරෝධාකල්ප ගීත එකතුවක්‌ කරන්න.... ඒ අසූඅට අසූනවය කාලයේ... අමරසිරි පීරිස්‌ ගායකයා තමයි මාව කේaමදාස මාස්‌ටර් ළඟට යොමු කළේ.... මට ලියන්න කියුවේ එක සිංදුවයි. මම සිංදු හතරක්‌ම ලියලා දුන්නා. මේ සිංදුවේ මම පටන්ගත්තේ ඉරගල වැටිලා කියලා. ඒත් මාස්‌ටර් කිව්වා... එහෙම හරි නැහැ.... අපි "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගනිමු කියලා.

මාස්‌ටර් මේ විරෝධාකල්ප ගීත එකතු කරලා "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදැක්‌වුවා. නුගේගොඩ රැස්‌වීමේදී ඒ කැසට්‌ එක ගත්තු කෙනෙක්‌ මට කිව්වා මචං උඹ සිරිමාවෝට සිංදු ලියුවා නේද කියලා... ඒ වෙනකල් මම දැනං හිටියේ නෑ මාස්‌ටර් මගෙන් සිංදුවක්‌ ඉල්ලුවේ මේකට කියලා.... මේ කැසට්‌ පටය කරලා තිබුණේ සමන් වීරමන්.... මැතිනියගේ උපන්දිනේට තෑගි දෙන්න... මගේ ගීත හතරම මේ කැසට්‌ පටයට අරගෙන තිබුණා. හේමසිරි ගීයේ උපත ගැන විස්‌තර කළා.

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙන හඬ ඇසුණා

කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්....

තොටියා වැළපෙන්නේ පාරුවට සෙනඟ නොඑන නිසා... ගම්මු පාරුවෙන් එගොඩ නොවන්නේ ඇයි... ගමට පාළමක්‌ ඇවිත්.... ඒ නිසා.... විවෘත ආර්ථිකය ගමටත් ඇවිත්..... අලුත් පාලමෙන් සංකේතවත් කරන්නේ ගමටත් විවෘත ආර්ථිකය ඇවිත් කියලා.

තොටියා පාරුවේ තනිවෙලා.... දැන් ඉතිං මගේ සේවය ඕනෑ වෙන්නේ නැහැ... කඩිමුඩියේ පාළම හැදෙනවා... පාළම හැදෙද්දි ගමේ තිබුණු නිසංසල බව... පලා ගිහිං..... ගල් කඩනවා. යකඩ තලනවා... හරියට හෙණ ගහනවා වගේ.... මේ සද්දෙට කැලෑවේ හිටපු කුරුල්ලන්... කොබෙයියන්.... සිවුපාවුන්... පලා ගිහිං.... දැන් කෝ ගමේ සුන්දරත්වය... විවෘත ආර්ථිකය ඒ සුන්දරත්වය ගිලගෙන...

විවෘත ආර්ථිකයේ හොඳ සේම නරකත් තියෙනවා.... ගමකට පාළමක්‌ එන එක හොඳයි.. ඒත් හේමසිරි මේ ගීයෙන් කියන්නේ පාළම නමැති විවෘත ආර්ථිකය නිසා ගමට නොහොබිනා දේත් එන්න පටන් ගත් බවයි.

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි....

මගේ දෑතේ ඇඟිලි හබලටම දියවුණා... එදා මගේ පාරුවෙන් ගෙනියන්නට බැරි බරත් තිබුණා... සමහර විට මේ තොටියා පාරුව පැදවූයේ ගමත් නගරයතA නගරයත් ගමත් යා කරමින්.. වෙන්න ඇති... නගරයේ සිට අනවශ්‍ය දෑ තොටියා ලවා ගමට ගෙන එන්න සමහරු දැරූ උත්සාහය ඔහු ප්‍රතික්‍ෂේප කරන්නත් ඇති...." ගෙනියන්නට බැරි බර පොදි තිබුණා" කියා ඔහු කියන්නේ ඒ නිසයි. ඒත් පාළම හැදුනට පස්‌සේ....

"මෙතෙක්‌ කලක්‌ ගමට නොආ බර අද ගමට එනවා.... ඒ එන්නේ එදා එය ප්‍රතික්‍ෂේප කළ තොටියාටත් සරදම් හිනාවක්‌ නගමින්...." මෙතුවක්‌ නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි..."

ගීය ගැන හේමසිරි මෙවැනි අදහසක්‌ ද පළ කළා....

විවෘත ආර්ථිකය නගරය වසාගත්තා.... ඒත් ගම... ආරක්‍ෂා වී තිබුණා... ඒ කෙටි කාලයයි. පාළම උඩින් කන්ටේනර් පිටින් ගමට ආවේ හෙරොයින්.... අසැබි චිත්‍රපට... අපචාර.... ගමත් විනාශ වෙන්න පටන් ගත්තා.... ගමේ තිබුණු පොල්කටු හැන්ද වෙනුවට පිටරටින් හැඳි ආවා... කොස්‌ස ඉදල වෙනුවට... ආදේශක ආවා... මැටියෙන් හැදූ හට්‌ටි වළං වෙනුවට ඇලුමිනියම් හට්‌ටි මුට්‌ටි මුළුතැන්ගෙට ඇවිත්..... මම මේ ගීයෙන් කියන්න උත්සාහ කළේ ඒ දේ... මාස්‌ටර් වගේ කෙනෙක්‌ සමඟ කළ පළමු ගීය මෙතරම් ජනප්‍රිය වීම... අමරසිරි පීරිස්‌ එය ගායනා කිරීම මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්‌....



  
Source:

Malak Une ayi nuba mata

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරැ වදන්
මුමුණනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...





මලක සුවඳ විඳින්න කවුරුත් කැමැතියි. මලේ සුවඳ වඩාත් හොඳින් දැනෙන්න නම් ඒ මල සිපගන්න ඕනෑ. ඒකට මලෙන් අවසර ගන්න ඕනෙත් නැහැ.

සුවඳ මලක්‌ සිපගනිද්දි ආදර හැඟුම් මෝදුවන බව දන්නවද. සමහරු මලක්‌ සිප එහි සුවඳ විඳිනවා. තවත් සමහරු මල දෙස බලා සිට මිහිරක්‌ විඳිනවා. මේ දෙපිරිසම මලට ආදරෙයි. ගොඩක්‌ ආදරෙයි. දවසක මේ මල පරව යන බවවත් මතකයට එන්නේ නැහැ. ඒ තරමටම මලට ආදරෙයි.

මලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දොතක්‌ බොන්නට තහනම්

ඔයා මගේ ජීවිතේම සුවඳවත් කරන මලක්‌. ඒත් මට සිපගන්න අවසරයක්‌ නැහැ. සිපගන්න තහනම් නම් ඇයි ඔයා මලක්‌ වෙලා මගේ ජීවිතේට සුවඳ සලන්නේ. ඔයා මගේ ජීවිතයට සිසිලස ගෙන දෙන විලක්‌. ඒත්... ඒත්. මට දියබිඳක්‌ බොන්නවත් අවසරයක්‌ නැහැ. ඇයි එහෙම වුණේ.

සමහරු හිතයි මේක අසම්මත එහෙමත් නැත්නම් තහනම් පෙමක්‌ ගැන ලියෑවුණු ගීයක්‌ කියලා. තවත් සමහරු හිතන්න පුළුවන් මෙය සම්මත ප්‍රේමයක්‌ ගැන කියන ගීතයක්‌ කියලත්. තහනමක්‌ නැහැ. මේ ප්‍රේමවන්තයා මේ ගීය ගයන්නේ තමන්ගේ සම්මත ප්‍රේමවන්තියට කියල හිතන්නත්, නැත්නම් අසම්මත පෙම්වතියට කියලා හිතන්නත් ඕනෑම කෙනකුට අවසර තිබෙනවා.

සමන් අතාවුදහෙට්‌ටි.... ගීයේ රචකයා... මේ ගීයෙ පද පෙළ ඇමිණුවේ සමන් බව නොදන්නා බොහෝ දෙනෙක්‌ මෙතැන් පටන් එය දැනගනීවි.

මුල් කාලයේ අමරසිරි පීරිස්‌ සරල ගී වැඩසටහන් කරද්දී වෙනස්‌ විදිහේ ගීයක්‌ ඔහුට නිර්මාණය කරන්න මමත් කළණි පෙරේරාත් උත්සාහ කළා. අපි තුන් දෙනාම දවසක හවසක කතා කළා. අපිට බැරිද ගිටාරය වැනි වාදන භාණ්‌ඩයකට බර දාල ගීයක්‌ හදන්න කියලා. අන්තිමේ ඒ ගීය ලියන්න මටම පැවරුණා. ඒක තමයි මේ ගීය..

පහන් තාරකාවක්‌ සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා මගේ ජීවිතයට මඟපෙන්වන පහන් තරුවක්‌. ඒත් තාරුකා එළියෙන් මගේ හදවත නමැති පහන දල්වන්න පුළුවන්ද... කියන්න..... ඇයි ඔයා මගේ ජීවිතයට සුවඳ එක්‌කරන මලක්‌ වුණේ කියලා.

සමහර විට පෙර කීවාක්‌ මෙන් මේ පෙම්වතා එක්‌කෝ විවාහකයෙක්‌. තහනම් ප්‍රේමවන්තියගේ පහස නොලැබීමේ දුකට ඔහු මෙසේ වැළපෙනවා වෙන්න පුලුවන්. නැත්නම් මේ ඔහුගේ සැබෑම ප්‍රේමවන්තිය වෙන්නත් පුලුවන්. ඇය ඔහුගේ බිරිය නොවේ යෑයි කෙනකුට කියන්නත් බැහැ.

අපි සමන් අතාවුදහෙට්‌ටිට ආයෙත් සවන් දෙමු.

මේ ගීය අහලා මුලින්ම සුදත් දේවප්‍රිය මට කියපු දෙයක්‌ තමයි මචං මේක අපේ ජාතික ගීය කියලා. ඒ කියන්නේ ප්‍රේමවන්තයින්ගේ ජාතික ගීය කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට කිව්වා "සමන් මම ලියපු ඔක්‌කොම සිංදු ටික උඹට දෙන්නම්. උඹ මට මේ සිංදුව විතරක්‌ දියං" කියලා. මේ ගීය ඇතුළත් කැසට්‌ පටය එළිදක්‌වද්දි ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන විවරණයක්‌ කළා. පදරචනය, සංගීතය සහ ගායනය අනුව මේ ගීය අසද්දී රූපමය සත්කාරයකුත් නිරායාසයෙන්ම සිදුවෙනවා කියලා. මට දැනෙන්නේ ගෙදරක සඳළුතලයක පෙම්වතිය සිටිද්දී පෙම්වතා ඒ ඉදිරිපස පාරේ දණ ගසාගෙන ගිටාරය වයමින් මේ ගීය ගයන චිත්‍රය මට මැවෙනවා කියලා ඔහු කිව්වා.

සහන් ගීතිකාවක්‌ සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙළෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා සහනය ගෙන දෙන ගීයක්‌ වගේ. මගේ ජීවන ගමනේ ගිමන නිවාලූවත් මම කොහොමද ඒ ගීතයෙ සුන්දර වචන මුමුණන්නේ. කියන්න ඇයි ඔයා මගේ ජීවිතේට මලක්‌ වෙලා ආවේ කියලා.

මේ ගීතය මගේ හුදෙකලා අත්දැකීමක්‌ නම් නොවේ. අත්දැකීම් සම්භාරයක එකතුවක්‌. සමන් ගීයට නිමිත්ත සඳහන් කළේ එහෙමයි.

කොහොම වුණත් මේ ගීය ඔය කියන ආකාරයට පෙම්වතුන්ගේ ජාතික ගීය බවට පත්වුණේ ඇයි? ඒකට හේතුවක්‌ තියෙනවා. එක එක පෙම්වතාට තම තමන්ගේ ප්‍රේම සිතිවිලි, අත්දැකීම් අනුව මේ ගීය තමන්ගේ කරගත හැකියි. ඒක සමහර විට තහනම් ආදරයක්‌ වෙන්න පුලුවන්. නැත්නම් සම්මත පෙමක්‌ වෙන්නත් පුළුවන්.


Wednesday, February 13, 2013

දිනෙන් දින ඔබ මා වෙතින්

සිංහල විරහ ගීතාවලියේ අමරණීය සිහිවටනයක්...෴

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනස ට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්...

මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්...

ඔබේ හසරැල් සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන
දිනෙන් දින ඔබ මා වෙතින්...
_____________________
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනු/හඬ - සංගීත් නිපුන් සනත් නන්දසිරි

හැත්තෑව දශකයෙ හි උදා වූ ඒ සිංහල සරල ගීතයේ අතිශය භාග්‍යවත් අවධියෙහි නිමැවුණු ගී පැබැඳුම් ද, සංගීත නිමැවුම් ද අප ගේ රස භාව වර්ධනය කරවන, අපේ රසඥතාව ඉසියුම් බවට පත් කරවන ගුණයෙන් යුක්ත විය.

එබඳු ගී ගැයූ විශිෂ්ට ගායක ගායිකාවන් ගේ ගායන කෞශල්‍යයය ද අතිශය හෘදයානන්දකර වී... එසමයෙහි අප වෙත නව ප‍්‍රහර්ෂයක්, නව අත්දැකීමක් බඳු වූ ගීතයක් මෙවර ඔබ වෙත ගෙන එමු. බණ්ඩාර කේ. විජේතුංගයන් ලියූ මේ ගීතයේ සංගීත නිර්මාපකයා හා ගායකයා වන්නේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි යි.

මා පළමු ව ගායනවේදී සංගීතඥ සනත් නන්දසිරි අමතා මේ ගීතය පිළිබඳ ව ඇසීමි.

“මේ ගීතය මගේ ගායන දිවියේ මුල්ම වකවානුවේ ගීතයක්. එකල කැසට් කලඑළි දැක්වීම් තිබුණෙ නැහැනෙ. මං මේ ගීය ගැයුවේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකටයි. ගීත රචකයා මගේ පාසල් මිතුරෙක්.

පසුකලෙක බණ්ඩාර කේ. විජේතුංග නමින් ප‍්‍රසිද්ධ වුණා. ඔහුගේ ඒ කාලයේ නම ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය ලිව්වේ ඒ ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය අඩංගු වූ සරල ගී වැඩසටහනට සිතාර් වාදනය කළේ නැසී ගිය සංගීතඥ සරත් දසනායකයි.

ආදරයේ විරහව ඉතා දැඩිව දනවන මේ පදමාලාව මගේ හිත සසල කළ එකක්. ඒ මගෙත් තරුණ කාලයෙ මේ ආදරයේ වියෝගය හොඳින් අත්විඳලා තිබුණු නිසා. ඉතින් මේ පදවැල අතට ගත්තම මගේ හදවතට හොඳින් දැනුණා.

මේ ගීතය මටම ලීවාදෝ කියලත් විටෙක සිතුණා. රචකයාත් මාත් හොඳ සමීප මිතුරන්. ඒ නිසා ගී පබැඳුමත් මට මිතුරෙක් වගේ වුණා. මගේ හදවතට සමීපව පැවැති විරහව, ඒ සංවේදනාව ඇසුරු කරමින්ම මා ඊට ඉතා ගැඹුරු මිහිරි තනුවක් යෙදුවා.

මගේ ගීතවලට ඒ කාලේ හොඳ රසික පිරිසක් හිටියා. අදත් මේ වගේ ගීත ශ‍්‍රාවකයන් අතර රැඳෙන්නෙ එවන් බුද්ධිමත් රසික පිරිසක් ඒ කාලෙ සිටිය නිසයි. අද වගේ යුගයක මේ ගීතය ගැයුවා නම් උසස් ශ‍්‍රාවක ප‍්‍රතිචාරයක් ඊට ලැබෙන්නේ නැහැ.

‘දිනෙන් දින ඔබ මා වෙතින්’ වැනි ගීත අප කෙරෙන් නිර්මාණය වුණේ සිංහල සංගීතයේ හොඳ යුගයකයි.

මේ ගීතයෙ තනුවට සංගීත කොටස් තුනක් මා යෙදුවා. ස්ථායි කොටසට එක තනුවක්. අන්තරා කොටස්වලට තනු වෙනස් විදිහටයි මා යෙදුවේ. මා ඒ විදියට නිර්මාණයක් කළේ මෙහි එන අදහසට අනුවයි.

‘රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ” කියන ගී කොටසේ තාලය එකක්. අනික් අන්තරා කොටස් ගැයෙන්නේ ඊට වෙනස් තනුවලට. සමස්ත ගීතයේම ස්වර රචනාව දෙස බැලීමේ දී “ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ” රාගයේ ඡායාව ගීතය පුරාම විසිර ඇති අයුරු දක්නට ලැබෙනවා.

විශේෂයෙන් දිනෙන් දින මා ඔබ වෙතින් යනුවෙන් ගැයෙන ස්ථායි කොටසේ අල්ප වශයෙන් ශුද්ධ ගාන්ධාරය යෙදී තිබෙනවා. ගීතයේ දෙවන අන්තරා කොටස වන “මලානික හදවිලේ ඉවුරේ” යන පද සලකා බලන විට එහි කෝමල රිෂභයේ ප‍්‍රයෝගය ද සිදුවී තිබෙනවා. එහෙයින් සුළු වශයෙන් ‘අහීර් භෛරව‘ රාගයේ ඡායාව ද දකින්නට පුළුවන්. එහිම ‘මිලින කුසුමක’ යන පදවල ස්වර රචනයෙහි ‘භෛරව රාගයේ ඡායාව ද මතු වෙනවා.

මෙලෙසින් බලන කල මේ ගීතයේ ගායනාව හා සංගීතය රාග කීපයක සංකලනයෙන් යුක්තයි. එහෙත් සමස්ත ගීතය ඇසුරේ වඩාත්ම උද්දීපනය වන්නේ පෙර කී පරිදි ‘ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ රාගය බව කිය යුතුයි.

මේ සියලු ප‍්‍රයෝග මා මීට ඇතුළු කළේ ගීතයේ පද රචනාවෙන් මතුවන විරහව හොඳින් උද්දීපනය කොට දක්වන්නයි.

එමෙන්ම සංගීත භාණ්ඩ මා යොදා ගත්තේ ද ඒ අනුවයි. විශේෂයෙන්ම සිතාරය මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා. අතුරු සංගීත ඛණ්ඩවලින් ද වැඩියෙන් මතු කළේ විරහ වේදනාවේ අයුර දනවන ස්වර සංයුතියක්.

කොටින්ම මේ ගීතය විරහ වේදනාව හොඳින් රසික හදවත්වලට සමීප කරවන ගීතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ගීතය වසර ගණනාවක්ම නොනැසී රසිකයන් ගේ මනස් තුළ රැඳී පවතින්නේ පදවැල මෙන්ම සංගීත නිර්මාණය ද අන්‍යෝන්‍ය වශයෙන් එක්ව රසය සිද්ධ කරන නිසයි.

‘දිනෙන් දින ඔබ’ ගීතයට සංගීතය නිර්මාණය කොට ගැයූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ මෙබඳු උසස් ප‍්‍රයත්නයන් නිසා සිංහල සරල ගීතයේ රුව ගුණ නිසැක ලෙස ම සපිරිණි.

එදා මේ පැබැඳුම කළ අග‍්‍රගණ්‍ය නිවේදකයා, පද රචකයා, ගැඹුරු කලාත්මක අන්තර්ඥානයෙන් හෙබි කලාකරුවා අද ජීවතුන් අතර නැත. බණ්ඩාර කේ.විජේතුංග නම් වන හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට සුලකල ගීත රැසක් ම දායාද කෙළේ ය. ඔහුගේ මේ ගී රචනාව වත්මන් නිසරු, බොල් සුනරුත් වදන් වැල් පෙරමුණ ගෙන සිටින යුගයක අප කාගේත් අවධානයට යොමු වුව මනා ය.

බණ්ඩාර කේ. විජේතුංගයන් කළ පැබැඳුම පිළිබඳව විමසා බලන්නට මා තෝරා ගත්තේ හැත්තෑව දශකයේ ගී පැබැඳුම් කරළියට ආ තවත් විශිෂ්ට ගීත රචකයකු වන කුමාරදාස සපුතන්තී‍්‍ර ය.

”හැත්තෑව අසූව දශකයන්හි බිහිවුණු සුභාවිත ගීතයේ නවෝදය උදා කිරීමට මෙහෙ කළ ගීත රචකයකු ලෙස බණ්ඩාර කේ.විජේතුංගයන් හඳුන්වන්නට පුළුවන්. ඔහු ගේ ගීත බොහොමයක පෙ‍්‍ර්මය හා ඒ ආශ‍්‍රිත සුන්දර හැඟුම් ජනිත කරවන සේ නිර්මාණය වූ ඒවා යැයි කීවොත් නිවැරැදියි. පෙ‍්‍ර්මයේ වුවද ඔහු බොහෝ කොට ඇසුරු කෙළේ විපුලම්භයයි.

ඒ වගේ්ම ඔහුගේ ගීත රචනා රසිකයන් අතර බොහෝ විට ප‍්‍රචලිත වූයේ මා හිතන හැටියට වැඩි දෙන ප‍්‍රියකරන පෙ‍්‍ර්මයේ දෙවන පාර්ශවය සේ සැලැකෙන වියොව හා පරාජය ඇසුරින් උපන් දුක - වේදනාව ඒ ගී බොහොමයකට වස්තු විෂයය වූ නිසා විය හැකියි.

මේ ගීතයෙනුත් බණ්ඩාර කේ.විජේතුංගයන් කියන්නට මහන්සි ගත්තේ් පෙ‍්‍ර්මවන්තයන් බොහෝ දෙනකුට පොදු ධර්මතාවක්. ඒ, තමා ඉතා තදින් ඇලුම් කරන පෙම්වතිය ගතින් ඈත්වන්නට ඈත්වන්නට ඇය පිළිබඳව මතකය තව තවත් අලුත් වෙමින් වඩවඩාත් තමන්ට ළංවීමයි.

බොහෝ රසික හදවත්වලට මේ තත්ත්වය සමීපයි. බණ්ඩාර මේ ගීතයේදීත් සුපුරුදු ලෙස සිය සිතැඟි ලෙස වදන් හසුරුවනවා. මේ ගීතයේ බස ගීතවත්. සරලයි. සුගමයි. සුපුරුදු පරිදි ගලායන බසක් ගීතය පුරාම දකින්නට ලැබෙනවා. වදන්වල හෝ අදහසේ කිසිදු බිඳීමක් නැහැ.

රුදුරු රළපෙළ හඬක් නොනැගේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරුමල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන

කොයිතරම් අපූරු යෙදුම් ද? ඔහුට රළ පෙළ හඬන හඬ නොඇසේ. රැයෙහි තරුමල් කිනිති’ නොපෙනේ. දෙනයන අන්ධයි. ඔහුට පෙනෙන්නේ ඇගේ රුව පමණයි. ඇසෙන්නේ ඇගේ හඬ පමණයි. එය නොකියා කියූ හැටි කෙතරම් කාව්‍යාත්මකද?

ඔහුට ඇගේ වෙන්වීම දැරිය නොහැකියි. ප‍්‍රියයන්ගෙන් ඈත් වූ විට ඔහු පත් වික්ෂිප්ත භාවයම භාව රූපයක් සේ ගී පද අතර රඳවන්නට බණ්ඩාර ගත් උත්සාහය සාර්ථක වූ බව මා මෙයින් දකිනවා. ඔහුගේ බොහෝ ගීත වගේම මේ ගීතයත් අති ප‍්‍රබලයි. එහෙත් ඒ ප‍්‍රබල බව තවත් උද්දීපනය කරන සරල රූපක භාවිතයක් මෙහි දකින්නට පුළුවන්.

භාවිත වදන් ඉක්මවා යන කිසියම් සෘජුව නොහැඟෙන යටි අරුතක් හැම යෙදුමකින්ම මතු කරන්නට ඔහු මහන්සි ගෙන තිබෙනවා.

”මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නොහැළෙන කඳුළු බිඳු වැනි”

මෙබඳු කාව්‍යෝචිත පද සංඝටනා ඊට හොඳම නිදසුනක්. හැත්තෑව දශකයේ බිහි වූ අති සුන්දරම පෙ‍්‍ර්ම ගීතාවලියේ අමරණීය සිහිවටනයක් ලෙස අදත් මේ ගීතය අප අතර පවතින්නේ මෙහි සරල සුගම අර්ථාන්විත පදවැල නිසයි.

මේ ගීතයේ සාර්ථකත්වයට මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිගේ භාවපූර්ණ සංගීත රචනාවද මහත් උදව්වක් වී තිබෙනවා. ඒ නිර්මාණ දායකත්වය නොවුණා නම් මෙවන් රසාලිප්ත වදන් වැලකට යෝග්‍ය සූක්ෂ්මාතමය ලැබෙන්නෙ නැහැ.

ඒ අර්ථාන්විත සුගම තනුව හා සංගීතය අපූරුවට ගැළැපී තිබෙනවා. ඒ වගේම සනත් නන්දසිරි ගායනවේදියා ගේ ගැඹුරු මියුරු ස්වරය මේ ගීතයට අවශ්‍ය භාවික, ගුණය තීව‍්‍ර කරනවා.

ගීතයක සැබෑ අරුත, රසය හා භාව ප‍්‍රබෝධය සේ සැලැකූ යුගයක උපන් සරු නිමැවුමක් නිසා දශක තුනකට පසුත් අප මේ ගීතය ගැන කතා කරනවා. නමුත් අද නිමැවෙන ගීතවලට මොකද වෙන්නේ? ඒවායින් රසය හා භාව ප‍්‍රබෝධය කෙසේ වෙතත් භාව ප‍්‍රකෝපය නම් සිද්ධ වෙනවා. සමහර නිර්මාණ දශකයක් කෙසේවත් වසරක් වත් ජනප‍්‍රිය වී තිබෙන්නේ් නැහැ.”

ඒ ප‍්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්තී‍්‍ර මේ ගීතය ගැන දැක්වූ අදහස් ය.

සැබැවින් ම මේ ගීය අභිනව ගීත රචකයන්ට පූර්වාදර්ශ සපයන නව සංගීතඥයන් ගේ ද අවධානයට යොමු විය යුතු රසභාවපූර්ණ ගී නිමැවුමක් බව කිය යුතු ය.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

වරෙන් ඇවිත් යන්න නොවෙයි නවතින්න....෴

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ළඟයි දුවේ
__________________
ගී පද :- රත්න ශ‍්‍රී විජේසිංහ
ගී තනු :- රෝහණ වීරසිංහ
ගී හඬ :- සුනිල් එදිරිසිංහ

ඇතැම් සමාජයක දියණියකගේ උපත සෞභාග්‍යයකි. තවත් සමාජයක එය අභාග්‍යයකි. අපේ සමාජය මේ දෙකට ම අයිති නැත. අපගේ සමාජය දරු උපත සෞභාග්‍යයක් සේ සලකති. කෘෂි අර්ථ ක්‍රමයක පිරිමි දරුවකුගේ උපත පවුලට විශාල ශක්තියක් වුව ද ඕනෑම පවුල් පරිසරයකට දියණියකගේ ළතෙත් සෞම්‍ය වූ නිවසේ රාජකාරිය අවැසි ම ය.

එය වඩාත් සහය වන්නේ මවට වුවත් එහි වුවමනාව වඩාත් දැනෙනුයේ පියාට ය. විඩාබර වූ පියාට අවැසි වන්නේ වතුර කෝප්පයක් පමණක් නම් එය ඕනෑම කෙනකුගෙන් මඟ තොට දී වුව ලබාගත හැකි ය. එහෙත් දියණියගේ මියුරු තෙපුල්, අත්පා පිරිමැදුම් කෙළිලොල් සිනා ආදී ස්ත්‍රිත්වයේ ආවේණික මෘදු බව විඩාබර ගතට අමා වත් දිය බිඳ පරදා නැඟී සිටින්නේ ය.

අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය.

රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය.

රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්, බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල් මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය.

මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි. එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා නොකියාම යන්න ගොස් ඇති බව ය. වඩු මඩුවේ වඩු රාළ ඇතත් දැන් එය පාළු වී ඇත. බත් වේල ගැන තේ වතුර ගැන ඔහුට ගානක් නැත. තමා හැර යාමට දියණියට වූ අඩු පාඩුව කුමක් ද?

“චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ...

මේ වඩු කාර්මික පියාගේ දුක් අඳෙීනාවත් ඔහු දෑසින් දියකර හැරිය දැඩි බවේ අසාර්ථක භාවයත් රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ සිතෙහි බොහෝ කාලයක් ලැගුම් ගෙන තිබුණි. ගීතය ලියැවෙන්නේ අසූව දශකයේ මැද භාගයේ ය. අපගේ චිරන්තන සාහිත්‍යයේ පවා බහුල ලෙස දැකිය හැකි වන්නේ දරු සෙනෙහස සමඟ මවගේ සම්බන්ධතාවය යි. දරුවන් වෙනුවෙන් හඬන පියවරුන් පිළිබඳ කවි හෝ කතා සුලබ නැත. සැබෑ ලෝකයේ කෙසේ වෙතත් දරු සෙනෙහස වඩාත් සමීප වන්නේ මවට ය. රත්නශ්‍රීට වෙස්සන්තර ජාතක කාව්‍යය සිහිපත් වේ.

“සඳ සේ ලප විලසේ දවසක්
වෙන් නූවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන්
රැකි දැයි නිතියෙන් මා
සොඳ සේ අප දන් දුන්නෙත්
වැදුමෙන් වද අම්මා
අප සේ පිය රජුනි දනට
නො දෙන්න අපෙ අම්මා”

වෙසතුරු නිරිඳා සිය පුතු හා දියණිය ද දන් දෙන්නේ ය. වඩු රාළ සිය දියණිය ගිය සොවින් හඬන්නේ ය. දරුවන්ගේ හා මවගේ බැඳීම වෙස්සන්තර කාව්‍යකරුවා දකින්නේ “සඳ සේ ලප විලසේ” ය. එය අවියෝජනීය සම්බන්ධයකි. එහෙත් මේ දියණියට මව් සෙනෙහසටත් පිය සෙනෙහසටත් දෙකට ම සිටියේ පියා පමණි.

වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළේ ගැමි කවියකු යැයි සැලකේ. එහෙත් ඔහු සඳෙහි ලප දකින්නේ ය. විද්‍යාව එය දකින්නේ ආවාට ලෙසිනි. එහෙත් ගැමියා දකින්නේ සඳෙහි සාවෙකි. රත්න ශ්‍රී හු වෙනස්ම ආකාරයේ ගැමියකු වෙති. ඔහු මේ වඩු රාළගේ සඳ මඬලේ දකින්නේ සාවියකි. ඔහු මුල් වරට සාහිත්‍යයේ සඳ සාවා ගේ ලිංග විපර්යාසයක් සිදු කරන්නේ ය.

“ලාබ රත්තරං දිළිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ”

රත්න ශි‍්‍ර විජේසිංහයන් නිතර ම සිය නිර්මාණකරණයේ දී තමන්ගේ අත්දැකීම පෝෂණය කරගන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සාහිත්‍යාංගයන්ගෙනි. මේ වඩු රාළගේ දුක් අඳෙීනා සමඟ ඔහු රුසියානු මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ “තානායම්කරුවා” නම් කෙටි කතාවේ කථානායකයා වන දුන්‍යාගේ පියා හා සමපාත කරන්නේ ය.

තානායම්කරුවකු වන ඒ මහලු පියා ගේ තානායම වෙත වරක් පැමිණෙන නගරයේ ජේත්තුකාර තරුණ සිටුවරයකු තානායම්කරුගේ රූමත් දියණිය වන දුන්‍යා රවටාගෙන නගරයට පැන යන්නේ ය. මහලු පියා නගරය වෙත දුෂ්කර වූ ගමනක් යන්නේ දියණිය දැක ගැනීමට යි.

එහෙත් ඔහුට දියණිය දැක ගැනීමටවත් ලැබෙන්නේ නැත. ජේත්තුකාර සිටුවරයා ජනේලයෙන් සල්ලි මිටියක් විසි කරන්නේ ය. පියාට ඉන් පලක් නැත. ඔහු එයට අත තබන්නේ වත් නැත. ඔහු කල්පනා කරයි.

“නගරවල ඉඳල එන ජේත්තුකාරයන්ට රැවටිලා පැනල ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්‍යා වෙන්න බෑ. ඉදිරියේ දීත් කෙල්ලො පැනල යාවි. ඒගොල්ල අද සේද ඇන්දට හෙට එයාලට පාර අතුගාන්න වෙනව. රත්න ශි‍්‍ර සිහි කරන්නේ ඒ පුවතයි. වඩු රාළගේ දියණිය දුන්‍යාගේ පරපුරේ ය.

“උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”

ඕනෑම සභ්‍ය සමාජයක පියකුට තම දියණියන් පිළිබඳ ඇති විශාල ම බලාපොරොත්තු දෙක කැයි හැඟේ. ඉන් සමාජයට හොඳින් විදහා දැක්වෙන්න නම් දියණියන් ලොකු මහත් කර හොඳින් අධ්‍යාපනය ලබාදීම, රැකියාව ගේ දොර වැඩ ආදිය යි. අනෙක් සැඟවුණ බලාපොරොත්තුව නම් නම්බුකාර ලෙස චාරිත්‍රානුකූලව පොරුව මත හිඳුවා ඇය යුග දිවියට එලඹීමයි. දියණිවරුන්ගේ හැදියාව පිළිබඳ සීමා වැට කඩුලු දැමෙන්නේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට ය.

දිනෙක පිවිතුරු චරිතවත් ශීලාචාර දියණිය පෝරුව මත හිඳ බුලත් හුරුලු දී පියාට වැඳ කුලගෙට වදින අයුරු විඳීමට මේ වඩු කාර්මික මහතා ද බලා සිටියා විය හැකි ය. එහෙත් දියණිය ඊට ඉක්මන් වූවා වැඩි ය. ඈ යන්න ගියේ නොකියා ම ය. පියාට ඒ බව හඟවන පෙර නිමිති තිබෙන්නට ඇත. රෝසමල් යහන් පිළිබඳ ඈ මැවූ සිහින පියාට සන්නිවේදනය කිරීමට මව සිටියේ නැත. මාල ගිරවුන්ගේ ගීතය දියණියට මිස පියාට ඇසුණේ නැත.

“මාල බැඳන් සුදු යකඩෙන්
රෝසමල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ
සිංදු කිව් වෙලේ”

වඩු මඩුව ඉදිරියෙන් ගිය පාපැදි මෝටර් බයිසිකල් පිළිබඳ වඩු රාළට ඒ තරම් නිනව්වක් නැත. ඒ වායේ නළා හඬ සංඥා කළේ කාටදැයි එදා තේරුණේ නැත. සුදු යකඩ මාල මුදු පැලඳි ඉලන්දාරින්ට වඩු මඩුව ඉදිරියේ පාර තහනම් නැත. දියණියට මිදුල ද තහනම් නැත. වඩු රාළට වඩු මඩුවේ ඕනතරම් වැඩ ඇත. දියණියට මාල වළලු තනා දිය යුතුය. සුදු යකඩෙන් නොව රත්තරනින් ය. එහෙත් ඊට පෙර දියණිය සුදු යකඩ මාලයකට පෙම් බැන්දා ය.

“හීනෙනුත් හිතුනෙ නෑ මට
මොකද කාරණේ
පාර මතක නම් තාමත්
ගේ ළඟයි දුවේ”

රත්තරං දුවේ රනින් සැරසිය යුතු උඹේ කරට සුදු යකඩ මාලා ගැළපෙන්නේ නැහැ. කවුරු එක්ක ගියත්, කොහේ හිටියත් වරෙන්, ඇවිත් යන්න නෙමෙයි නවතින්නම, මේ තාත්තා උඹට ඈත නෑ. වඩු මඩුවේ කොට බිත්තියක් මත වාඩි වී වඩු රාළ විවිධ දිශාවන්ට දිවෙන අතුරු මාර්ග බහුල පාර දෙස ඔහේ බලා සිටින අයුරු තවත් දිනෙක රත්නශ්‍රී ට දැකගන්නට ලැබුණි.

සුභාවිත ගීතය ක්ෂණික නැහැ

සුභාවිත ගීතය ක්ෂණික නැහැ...෴

ගීතය ජනපි‍්‍රය කලාවක් ලෙස වර්ධනය වීමේදී කවියට අතීතයේ තිබූ තැන ගීතයට හිමි වී ඇත්දැයි වර්තමානයේ බොහෝ දෙනා තර්ක කරති. නමුත් මගේ අදහස නම් සෑම කවියක් ම ගීතයක් නොවේ. නමුත් කිසියම් සංගීත රචකයකුට හැකියාව ලැබෙනවා කාව්‍යමය රචනාවක් ගීතයක් බවට පරිවර්තනය කිරීමට. ඒ සංගීතඥයා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මතයි කවියක් ගීතයක් වන්නේ.

නමුත් සාහිත්‍ය රසය අතින් පද රචකයෙක් රචනා කරන සෑම කවියක්ම ගීතයක් වන්නේ නැහැ. එහෙත් අපේ ගීතාවලියේ ඉතිහාසය දෙස බලන විට ගීත බවට පත්වූ ගීත යැයි පිළිගන්නා ලද කාව්‍යමය රචනාවන් ඕනෑ තරම් තිබෙනවා. දැන් මෑත ඉතිහාසයේ උදාහරණයක් කියනවා නම් සුනිල් එදිරිසිංහ ගායනා කරන මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා කියන සිපිරිමාලේ කවි ආශ්‍රයෙන් වූ ගීතය. එය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නම් කර තිබෙන්නේ ම සිපිරිමාලේ කවි කියායි.

කවි වුවත් එය ගීතයක් බවට පරිවර්තනය වන අවස්ථා තිබෙනවා. දැන් අපි කියනවා අපේ දේශීය ජන සංගීතය පැත්ත ගත්විට ජන ගී කියා. නමුත් අපි ජන ගී කියා සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනුයේ ජන කවියමයි. කවිය සහ සාහිත්‍ය යනු එක ම මාධ්‍යයකි. එය ගීතයක් බවට පත් වන්නේ ඒ සාහිත්‍යමය රචනාවට ගීතමය නැතිනම් සංගීතමය අර්ථකථනය ලැබූ විට ය.

ඊට අමතර ව සංගීත සංයෝජනය සහ ස්වර රටා යනාදිය එනම් වාද්‍ය වෘන්දයකින් ඊට ආනුෂංගික ව ඉදිරිපත් කරන අන්තර් සංගීත ඛණ්ඩ නිසා ගීතය නැමැති පැත්තට කවිය නැඹුරු කර ගැනීමේ හැකියාව ලැබෙයි. නමුත් සෑම කවියක් ම ගීතයක් වන්නේ නැහැ. නමුත් අපේ ගීතාවලියේ මේ දෙයාකාරයම දකින්නට ලැබෙයි.

කවි රචනා හැටියට බිහිවූ ගීත මුලින් කියූ ඊට ආනුෂංගික ව භාවිතා කළ හැකි සංගීත රචනය, වෘන්ද වාද්‍ය රචනය, ගායනය වැනි කරුණු නිසා කවි ගීත බවට පත්වූ අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් ගීතය කියන කලා මාධ්‍යය ඉතාම අර්ථ සම්පන්න වන්නේ එහි කාව්‍යෝක්තිය සහ සාහිත්‍යමය ගුණය ආරක්ෂා වුවහොත් පමණයි.

එහිදි විවිධ පද රචකයන් කාව්‍යමය යෙදුම්, උපමා, රූපක අනුප්‍රාස විටෙක එළිසමය ඇතිව සහ නැතිව විවිධාකාරයෙන් භාෂාවේ යම් යම් නියමයන් සහ යම් යම් ව්‍යාකරණ භාවිතා කරනවා. එමෙන්ම අපේ බහුතර ගීත රචකයන් ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකියි ජනශ්‍රැතිවලින් ජන කාව්‍යවලින් ඒ අයගේ පද රචනා පෝෂණය කර ගත්.

අපි ගීතය සහ කවිය වෙන් කර ගැනීමේදී යම් නිර්ණායකයක සිට කටයුතු කළ යුතුය. එනම් රැපියල් තෙන්නකෝන් එහෙම නැතිනම් මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න මානවසිංහ වගේ කවින් අපට සිටියා.

මෑත කාලයේත් පද රචකයන් විදියට රටේ ජනපි‍්‍රය වෙන්නේ සාහිත්‍යකරුවන්. කාව්‍ය රචකයන්. පසුව තමයි ඔවුන් ගීතය කියන මාධ්‍යයට ප්‍රවිෂ්ට වුණේ. මෙය වෙන්කොට ගත් විට ගීතය අද වෙන විට කවියට වඩා මිනිසුන් අතරට ගිහින් තිබෙනවා. කවියට වඩා ඉදිරි ගමනක් ගීතයේ තිබෙනවා. ඒ නිසා අද කවිය මිනිසුන්ගේ අවධානයෙන් ඉවත් ව තිබෙනවා. ඊට හේතුව වෙන්නේ සංගීතය නැමැති මහා සාගරයේ ගීතය කුඩා අංශුවක් වීමයි.

නමුත් සංගීතය නම් වූ විෂයේ ජනපි‍්‍රයම ශාඛාව ගීතයයි. ඒ හේතුව නිසා කවිය අබිබවා ගීතය ගමන් කොට තිබෙනවා. නමුත් මිනිස්සු ශ්‍රවණය කරන ගීත යැයි කියා ගන්නා යම් යම් නිර්මාණයන්හි කවිය අන්තර්ගත ව තිබේ. නමුත් ගීත යැයි හඳුනා ගන්නා නිර්මාණයන්හි කවි තිබේ.

අපි ගීත හැටියට කවි ශ්‍රවණය කරනවා. නමුත් ඉදිරිපත් කරන ක්‍රමවේදය, ගායන වේදය මත, ගීතයක් වූ විට කවිය නැමැති දෙයින් බාහිර ව අප එය ගීතයක් ලෙස රස විඳීමට පුරුදු ව තිබෙනවා.

එමෙන්ම අපේ ගීත සාහිත්‍ය පෝෂණය වීමට පල්ලියේ ගීතිකා සහ බෞද්ධ පිරිත් ස්වර උපකාරී වී තිබෙනවා. සුනිල් ශාන්තයන්ගේ ගීතාවලිය දෙස බලන විට පැහැදිලි ව ම අපට දකින්නට ලැබෙනවා බටහිර බෙන්ගාල රබින්ද්‍ර සංගීතයේ යම් යම් ලක්ෂණ. තවත් විටෙක දකින්නට ලැබෙනවා කතෝලික පල්ලිවල ගායනා කරනු ලබන ගීතිකාවල ස්වරූපය. තවත් අවස්ථාවක භාරතීය රාගධාරී සංගීත ලක්ෂණ අපට දැක ගන්නට ලැබෙනවා.

”නැළවී සැනසෙන්කෝ මගේ සුදු ඕළු මලේ” මේ ගීතය අසන ශ්‍රාවකයාගේ මනස ගමන් කරන්නේ පල්ලිය වෙතට ය. නමුත් එය වඩාත් බර සිංහලටය. ඊට හේතුව එතුමා හෙළ හවුලේ සිටි කෙනෙක් වීමයි. ඒ නිසා තමයි එතුමා පද රචනය කරන්නේ “නැළැවී සැනැසෙන්කෝ” ලෙස. එනම් ඊට හෙළ හවුලේ අනන්‍යතාව ලැබී තිබේ.

එබැවින් එහි ඉතා ගැඹුරු සෞම්‍ය දේශීය බවක් අපට ලැබෙනවා. අපේ බවක් හැඟෙනවා.

මෑත කාලයේ උදාහරණයක් ලෙසින් අපේ බෞද්ධ සාහිත්‍ය මඟින් පෝෂණය වූ ගීතයක් ලෙස පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත “බුදු බණ ඇසුවා නිරන්තරේ” ඒ ගීතයේ පිරිතේ නාද මාලාව ඇසෙනවා. ඒ වගේම භාරතීය සංගීතයේ භෛරවි කියන රාගය දෙසටත් යනවා. සංගීතය හරිම ගැඹුරුයි. අපට පැත්කනින් පිරිත ඇසෙනවා. නාද මාලාව ගීතයේ දෙවන තෙවන කොටසින් ඇසෙන විට නාද මාලාව වර්ධනය වෙලා භෛරවී කියන රාග පැත්තට යන ලක්ෂණ තිබෙනවා.

ඊළඟට චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ‘වැලිතල අතරේ’ ගීතය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරනවා. ‘මහබෝ වන්නම’ ගීතය බලන්න. එහි රිද්මය තුළ අපට ඇසෙනවා දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන පෙරහැර. ඒ දළදා පෙරහැරේ රිද්ම රටාව පණ්ඩිත් අමරදේවයන් සංගීත රචනයෙන් ඉදිරිපත් කරනවා.

හැබැයි දැන් බලන්න මෙවැනි පද රචනාවක් දෙස ‘ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්. මතකයි මට ඔබ දුන්නා කොට්ටෙට උරයක්” ඒ පද රචනාවේ කිසිදු සාහිත්‍ය අගයක් හෝ කවීත්වයක් නැහැ. නමුත් සුනිල් ආරියරත්න, ගීතනාත් කුඩලිගම වැනි විද්වතුන්ගේ ගීත රචනා මොන තරම් සුන්දර ද? ඒ නිසා මා දකින හැටියට අපි කවියන් ලෙස සැලකූ උදවිය ගීත රචනාවන්ට යොමු වුණේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් හම්බ කිරීමේ අරමුණින් නොවෙයි. ඔවුන් කවියට වඩා ගීතය රස විඳින රසිකත්වය දෙස බලා ගී රචනාවන්ට යොමු වූ බව මගේ අදහසයි.

සුනිල් ආර්. ගමගේ, ගීතනාත් කුඩලිගම, සුනිල් සරත් පෙරේරා, බණ්ඩාර ඇහැලියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ගීත රචකයෝ අපේ රටේ සිටිනවා. මේ අය කවියෙන් ඈත්වූ බවට මතයක් සමාජයේ තිබෙනවා. නමුත් එය මා විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ කවීත්වය තමයි අප ගීත තුළින් දැක්කේ.

ගීත යැයි සිතා ගනිමින් යම් යම් තරුණ පිරිස් විසින් වෙළෙඳපළට නිකුත් කරනු ලබන නිෂ්පාදන නිර්මාණ නෙවෙයි. ඒ නිෂ්පාදනයන්හි තමයි ක්ෂණික රස වින්දනය තිබෙන්නේ.

නමුත් කිසියම් ගැඹුරක්, පදනමක් දර්ශනයක් සහිත ව පද රචකයෙක් සංගීතඥයෙක් ගායකයෙක් එක් ව කරන නිර්මාණ ක්ෂණික වන්නේ නැහැ. එවැනි ගීත රසිකයාගේ හද පත්ලේ නිධන් වෙනවා. නමුත් වර්තමානයේ බාල බොළඳ නිෂ්පාදන විද්‍යුත් මාධ්‍ය යැයි කියාගන්නා සමහර ආයතන විසින් සමාජයට පීඩාකාරී ලෙස ලබා දෙනවා. සමාජයට බලෙන් ශ්‍රවණය කරවනවා. ඒ නිසා සුභාවිත ගීත රසිකයාගේ විඥානය අද කුමන්ත්‍රණකාරී ලෙස නැති කර දමා තිබෙනවා. එය සත්‍ය ලෙසම සමාජ විද්‍යාත්මක කාරණයක්. මේ තත්ත්වය නිසා තමයි අද බොහෝ දෙනා ගීතය ක්ෂණික මාධ්‍යයක් කියා හඳුන්වා දෙන්නේ.

දේශීය ගීතය කියන්නේ අප මේ භූමියේ අත්විඳින රිද්මයයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් පවා කියා තිබුණේ ගීතය ඉපදිය යුත්තේ මහ පොළොවේ රිද්මයෙන් කියා ය. එය මා ද අනුමත කරනවා.

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෝලිත භානු දිසානායක-

වැලිතල අතරේ හෙමිහිට බසිනා

මහ මෙව්නා උයනේ... නටයි කොළ වන්නම ලෙස මහබෝ...෴

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා...
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී... භාවනා

හිම කඳුවැටියේ... සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ... ගැටීලා
පාවෙනා

සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා...

සඟ මෙත් මෙහෙණී - දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා
___________________________
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව


කවිය හා ගීතය අතර වෙනස ගැන කෙනෙකු විමසන සෑම අවස්ථාවකදීම මානවසිංහයෝ මගේ සිහියට එති. සාර්ථක ගීතයක් තුළ සාර්ථක කවියක් පැවතිය හැකි ය. එහෙත් සෑම කවියක් ම ගීතයක් බවට පත්කළ නොහැකි ය.

මහගමසේකරයන්ගේ බොහෝ කවි පසුකාලීන ව ගීත බවට පත්විය. එහෙත් සිරි ගුනසිංහයන්ගේ එකද කවියක් හෝ ගීතයක් බවට පත්වූ අවස්ථාවක් මට සිහිපත් නොවේ. සේකරයන්ට කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මැනවින් පිහිටා තිබු අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ද කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය මනාව ප්‍රදර්ශනය කළා වූ සාහිත්‍යධරයෙකි.

(ගුරු ගෙදර යන අතරමග, හෙවත් අකුරට යනවයි කියලා නැමැති නිර්මාණය, මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමලා දෙන්නෙකු වට කරලා, (ඇත් ගාලේ දරු පෙම) ආදි නිර්මාණ මේ සඳහා කදිම නිදර්ශන වන අතර “මහ බෝ වන්නම” නැමැති නිර්මාණය ද ඒ අතරට එක්කළ හැකිය.

“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැන්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.

“වැලිතල අතරේ - හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස - වැඩ සිට බුදු වුණ දා
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා

රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.

මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

පරිසරය සමඟ කෙරෙන ගනුදෙනු තුළ ද මේ ප්‍රතිභාව සුවිශේෂ වූවකි. එතුමන් “රන්මුතු දූව“ චිත්‍රපටයට ලියු ගී පද මාලා මේ සඳහා නිදර්ශනයෝ වෙති.

“ගලන ගඟකි ජීවිතේ
දයා ලු ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපලු නටයි ගං තෙරේ”

(නන්දා මාලනී - නාරද දිසාසේකර)

ඒ අයුරින් ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.

මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.

“හිම කඳුවැටියේ - සීතල හෙවණේ
චන්දන තුරු පීරා - හැපී එන
මල් මුවරද රසිනේ
සමඟ මුසු - කෝමල මද පවනේ
ගැටීලා - පාවෙනා

සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකි ය.

“සත්සර නගලා
ටික ටික සෙල වී
සිරිමා බෝ හිමිගේ - මනෝහර
පලුපත් අතු රිකිලී - නටා ගිය
තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා

මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.

දන මන පිනවා රඟ දක්වාලා

අදින්න පුබ්බක නිවන් දකිත්වා...෴

දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ

යසකිත් රාවේ තුඩ තුඩ විසිරී
සාද තෙපුල් මැද රජ මැති ඇසුරේ
මල් දම් පලදා
සේසත් නංවා
සත් රුවනින් පුද්දේ

සාගිනි දියකර නීරස බොජුනේ
වැරැහැලි දවටා වැහැරුන සිරසේ
තෙමහල් පායේ
බිහි දොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා සීටී

දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
____________________________
ගී තනු - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ


බොහෝ දාන මාන සිදු කෙරෙන්නේ සුප්‍රකට පූජනීය ස්ථානවලය. ගමේ පන්සලට දනක් නොදෙන දානපතියෝ දළදා මාළිගයට, ජයශි‍්‍රමා බෝධි හාමුදුරුවන්ට, රුවන්වැලි සෑ රඳුන්ට රන් රුවන් දන් දී දාන පාරමිතා පුරති. රුවන්වැලි සෑ රඳුන් සෙවණේ වත් පිළිවෙත් පුරන පල්ලේගම හේමරතන අපේ ලොකු හාමුදුරුවෝ මේ දානපතියන් දෙස වරෙක උපේක්ෂාවෙනුත් වරෙක කරුණා සහගත විරෝධයකිනුත් බැලුම් හෙළති.

දිනක් ජයශ්‍රීමා බෝ රජ සෙවණේ හා රුවන්වැලි සෑ රජ අභිමුවේ සුප්‍රසිද්ධ පිංකම් මාලාවක් පැවැත්විණි.. මුළු අනුරාධපුර පින් බිමම කඩිසර ය. දහවලේ පැවැත්වෙන පින්කමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බොදු ධජ පතාක බැලූ බැලූ අත ලෙළදේ. ඒ අතර එක්තරා ව්‍යාපාරයක වෙළෙඳ ප්‍රවර්ධන දැන්වීම් පුවරු රුවන්වැලි සෑ රදුන්ගේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා මාර්ගයේ ලෙළදෙමින් පවතී. ලොකු හාමුදුරුවන්ගේ දැනුම් දීමකට අනුව එම ව්‍යාපාරයේ කළමනාකරුවකු හෝ පින්කමේ සංවිධායක මහතකු යැයි සිතිය හැකි සුදුවතින් සැරසී සිටි මහතකු හේමරතන හිමියන් අසළට පැමිණ සිටී. හේමරතන ලොකු හාමුදුරුවෝ සුදු වතක් හැඳ සිටි ඒ මහතාට “මේක පූජනීය ස්ථානයක්. ව්‍යාපාර කරන තැනක් නෙවෙයි. වහාම අර දැන්වීම් පුවරු ගලවල දාන්න ඕනැ. මේ දැන්ම. නැත්නම් මමයි ගලවන්නේ.” වචන සැර වැඩි ය. එහෙත් චේතනාවට පෙරටුව ඇත්තේ ද්වේශය නොව මෛත්‍රීය ය. ව්‍යාපාර සමඟ පින්කම් කළ හැකි ය. එහෙත් පින්කම් අස්සේ ව්‍යාපාර බැරිය. එය අරමුණුවලට පටහැනි ය. මේ සිදුවීම දැක්ක මට උන්වහන්සේම ලියු ගීතයක් ඒ මොහොතේ සිහි විය.

“දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ...
අදින්නපුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ...”

ඉහත සිදුවීම සිදුවූයේ දෙදහස් නවය වසරේදී ය. ගීතය ලියැවෙන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ පමණ ය. ඒ දිනවලත් මෙවැනි අරමුණුවලට පටහැනි ලෙස දන් දුන්නෝ සිටියහ. නිරන්තරයෙන් හරසුන් ලෙස දානමාන පවත්වා, ඒ දෙස බලා සිටින්නන් තාවකාලිකව පිනවන දන් දෙන්නෝ රුවන්වැලි සෑය අබියස ද අඩු නැත. ඔවුහු විශාල ලෙස මුදල් වියදම් කරති. කාලය වැය කරති. මහන්සි වෙති. දන් දෙති. අත් නොහරිති. යටි පරමාර්ථ ඉටුකර ගනිති.

තව තවත් සසරට ලොබ කරති. බාහිරට ඒ කිසිවක් නොපෙන්නති. බලා සිටින්නෝ සාධුකාර දී පින් රැස්කර ගනිති. පිටත වෙස්සන්තර ය. ඇතුළත අදින්නපුබ්බක ය. බෞද්ධ සාහිත්‍යයේ කවදාවත් එක් නොවන අන්ත දෙකකි. වෙස්සන්තර රජ දරුවන් පවා දන් දුන්නේය. අදින්නපුබ්බකයෝ දරුවාගේ ලෙඩ -ට පවා බෙහෙත් නොකිරීමට තරම් මසුරු වූහ. සුප්‍රසිද්ධ පින්බිම්වලින් බෝසත්දම් පුරන අදින්නපුබ්බකලා ඕනතරම් හමුවේ. ඔවුන් දන් පින් කර හිස් අතින් ගෙදර යන්නේ බලා සිටින්නන් පිනවීමට කළ ටීටර් නාඩගමක් රඟ දැක්වූ සේ ය.

“කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සැදුනුත් මනරම්
ලාලා අබරණ රිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරු කෝලම්”

(ලෝවැඩ සඟරාව)

හේමරතන අපේ හාමුදුරුවන්ට මේ වැනි බහුරු කෝළම් බලා සිට ඇතිවී ඇත. ඒ දිනවල උන්වහන්සේ අනුරධපුර මහා විහාර පිරිවෙනෙහි ඉගැන්වීම් කරති. ගැමි සුවඳ වහනය වන පරිසරයක ගැමි සුවඳ වහනය වන සද්ධර්ම රත්නාවලිය ඉගැන්වීම කොයිතරම් සොඳුරු ද? ඉගෙන ගන්නා කාලයේ පටන් උගන්වන කාලයේත් සද්ධර්ම රත්නාවලිය කියැවීම පල්ලේගම හේමරතන හිමියන්ගේ පරිකල්පනය අවදි කරන්නකි. මට්ටකුණ්ඩලී කතාව කියවාගෙන යන උන්වහන්සේට මේ සමාජයේ මට්ටකුණ්ඩලීලාත් උන් මඟ හැර දන් දෙන වෙස්සන්තරලාත් මැවි මැවී පෙනෙන්නට විය. විරෝධය දැක්විය යුතු තැන විරෝධය පෑ යුතු ය. ඒ ලිප්ටන් වටරවුමේ බෝඩ් කෑලි එල්ලාගෙන නොවේ ය. උන් වහන්සේ සුපුරුදු අවිය අතට ගත්තේ ය. මුවහත් තෙලිතුඩ පිටුවක් මත සටන නොව සටහන ඇරැඹීය. අවියෙන් කවිය බිහි විය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ වැඩක් නැත.

“යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සාදු තෙපුල් මැද රජ මැති ඇසුරේ”

කපුගේ ශූරීහු ගයති. මට ජසයාගේ කවිය සිහි විය.

“ගම්වල තැන තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගන්නේ”

ගී නාද මාලාවේ ස්වර පරාසයේ වෙනසක් ඇතත් රිද්ම ලක්ෂණ අතින් හා සමස්තයක් ලෙසින් ගී තනුව මීට සමාන බවක් ඇතැයිදෝ හැඟේ. ජසයා සෝදන්නේ අනුන්ගේ රෙදිය. ඔහු වේදිකාවේ රඟ දක්වන්නේ ද එය ම ය. එහෙත් අදින්නපුබ්බක රඟ දක්වන්නේ වෙස්සන්තර චරිතයයි. ඒ වෙනෙකක් සඳහා නොව

“මල්දම් පලදා සේසත් නංවා
සත්රුවණින් පුද දේ”

මල්තලා පැලඳ පළස මැදින් ආරක්ෂකයන් ද සමඟින් විසිතුරු විදුලි බුබුළු හා ධජ පතාක මැද මගුල් සක් බෙර නාද මැද මහා දානපතියා පැමිණ ආදායම් බද්දෙන් මිදීමට ඉදිකළ මහා තොරන් රාජයා විවෘත කළේය. අසළ බලවතුන් ය. රාත්‍රියේ ඔවුන්ට මධුපානෝත්සවය ය. තන්හා රතී රඟා එහි නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනු ඇත. අම්බපාලි, සිරිමා ආදීන් ද පැමිණෙනු ඇත. පිනවන ලද බලවතුන් ඇසුර වාසිදායක ය. ඊළඟ කොන්ත්‍රාත්තුව ද මේ දානපතියාට ය. මේ සියල්ල තොරණ පිටුපස ය. සැදැහැතියෝ සාධුකාර දෙති. දානය කදිම ආයෝජනයක් වී ඇත.

“සාගිනි දියකර නීරස බොජුනේ
වැරහැලි දවටා වැහැරුණු සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා හිඳී”

අදින්නපුබ්බකගේ පුතු මට්ටකුණ්ඩලී ය. රන්කරුවකු ලවා මටසිලිටි කුණ්ඩලාභරණයක් සාදා ගැනීමට ලෝභ වූ අදින්නපුබ්බක සිය දරුවාට තමා විසින් ම තලන ලද රන් කැබැල්ලක් කුණ්ඩලාභරණය ලෙස සාදා දෙසවන සැරසී ය. එතැන් සිට දරුවා මට්ටකුණ්ඩලීය. රිසි ලෙස කුසට අහරක් නැත. ලෙඩකට බෙහෙත් නැත. අදින්නපුබ්බකගේ ධනය දිනෙන් දින වැඩි විය. දරුවා මරණාසන්නය. මළ පුතු දැකීමට එන්නෝ ධනය දකීවි ය යන බියෙන් අදින්නපුබ්බක දරුවාව පිළ මත තනි කරයි. අපේ හාමුදුරුවෝ මේ සිදුවීම යාවත්කාලීන කරති.

අදින්නපුබ්බක දනමන පිනවා වෙස්සන්තර චරිතය රඟ දක්වන විට තුන්මහල් ප්‍රාසාදයේ බහිද්වාරය අයිනේ කාටත් නොපෙනී මට්ටකුණ්ඩලී මේ බෝසත් චරිතය රඟ දක්වන පියා දෙස බලා සිටී. දානය ලක්ෂ්‍යගත වී ඇත්තේ එය ලැබිය යුත්තාට නොවේ ය. ලැබිය යුත්තාට දන් දීමෙන් දානපතියාගේ යසකිත් වැඩෙන්නේ නැත. ඒ වෙත මාධ්‍යයේ කැමරා යොමුවන්නේ ද නැත. ආදායම් බද්දෙන් ද නිදහසක් නැත. මට්ටකුණ්ඩලීලා බලා සිටින වීදියේ දානපතියෝ උජාරුවෙන් බෝධියට රන් වැට වැඩම කරවති. පිළිමයට රන් ආලේප කරති. කුසගින්නේ හඬන දරුවන්ගේ අම්මලා සාධුකාර දී සහන ප්‍රාර්ථනා කරති. ගීතය ලියැවී රජරට සේවයේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අතට හේමරතන හිමියෝ ලබා දෙති. ගුණදාස කපුගේ නම් අසහාය ගායකයා සිය මාවතේ ගීතය කැසට්පටයට සූදානම් කළ එක් ගීතයක් ඉවත්කර මේ ගීතය ගායනා කරන්නේය. ඒ කැපකිරීම් මඟින් කළ සමාජගත කිරීමම මහඟු පිනක් යැයි සිතේ.

අදින්නපුබ්බකලාට ද වෙස්සන්තරලා විය හැකිය. බුදු දහම එය පැහැදිලිව සපථ කරයි. අංගුලිමාල රහත් වන්නේය. දෙව්දතුන්ට පවා පසේබුදු විය හැකිලු. පරමාර්ථයන්ට අනුගතව දන් පින් කරන්නෝ දිනෙක නිවන් දකිති. වෙස්සන්තර චරිතය රඟ දක්වා බෝසත් දම් පුරන අදින්නපුබ්බකලා ද මතු දිනෙක නිවන් දකිත්වා!