සිදාදියත් ගමත් අතර ඉස්‌සර නම් ලොකුම ලොකු වෙනසක් තිබුණා. ඒත් දැන් ගම නැහැ... සිදාදිය ගම ආක්‍රමණය කරලා...
ගොඩමඩ දෙකම සරුසාරය පලබරය කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්‌ඩිය පිහිටියේ ගම කෙළවරය
කේයස්... එහෙමත් නැත්නම් සාගර පළන්සූරිය කවියා එදා ගම දැක්‌කේ එහෙමයි. මොනවා නැතත් ගඟට... වැවට.... එදා ගමේ ලැබුණේ ලොකු තැනක්. ගමේ සුන්දරත්වය වැඩිවෙන්න ගඟෙන් හෝ වැවෙන් ලැබුණේ විශාල දායකත්වයක්.
ගඟෙන්.... නැතිනම් වැවෙන් වෙන්වන්නේ ගම්මාන දෙකක්.... මේ ගම්මාන දෙක යාකරන ප්‍රධාන පුද්ගලයෙක් එදා හිටියා.... හේ තොටියා.... ඔරුවක් පාරුවක් පදවමින් ඒ ගමෙන් මේ ගමටත්, මේ ගමෙන් ඒ ගමටත් ගැමියන් එතෙර මෙතෙර වුණේ. තොටියාගේ ශක්‌තිමත් දෑත් දෙකට පිං සිද්ධ වෙන්න.
කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණාවේ කවුරුත් නෑ අද එගොඩට යන්නට
මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්... ඉරගලත් වැටිලා... පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා... ඒ පාරුවට එළිය එන්න..... ඔහු ලන්තෑරුම සෙව්වා.... ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා...
මේ ගීය ලියුවේ හේමසිරි ගුණතුංග කේමදාස මාස්‌ටර්ගේ ඉල්ලීම මත...
කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා විරෝධාකල්ප ගීත එකතුවක් කරන්න.... ඒ අසූඅට අසූනවය කාලයේ... අමරසිරි පීරිස් ගායකයා තමයි මාව කේaමදාස මාස්‌ටර් ළඟට යොමු කළේ.... මට ලියන්න කියුවේ එක සිංදුවයි. මම සිංදු හතරක්‌ම ලියලා දුන්නා. මේ සිංදුවේ මම පටන්ගත්තේ ඉරගල වැටිලා කියලා. ඒත් මාස්‌ටර් කිව්වා... එහෙම හරි නැහැ.... අපි "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගනිමු කියලා.
මාස්‌ටර් මේ විරෝධාකල්ප ගීත එකතු කරලා "සොහොයුරාණෙනි" කියලා කැසට් පටයක් සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදැක්‌වුවා. නුගේගොඩ රැස්‌වීමේදී ඒ කැසට් එක ගත්තු කෙනෙක් මට කිව්වා මචං උඹ සිරිමාවෝට සිංදු ලියුවා නේද කියලා... ඒ වෙනකල් මම දැනං හිටියේ නෑ මාස්‌ටර් මගෙන් සිංදුවක් ඉල්ලුවේ මේකට කියලා.... මේ කැසට් පටය කරලා තිබුණේ සමන් වීරමන්.... මැතිනියගේ උපන්දිනේට තෑගි දෙන්න... මගේ ගීත හතරම මේ කැසට් පටයට අරගෙන තිබුණා. හේමසිරි ගීයේ උපත ගැන විස්‌තර කළා.
දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙන හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්....
තොටියා වැළපෙන්නේ පාරුවට සෙනඟ නොඑන නිසා... ගම්මු පාරුවෙන් එගොඩ නොවන්නේ ඇයි... ගමට පාළමක් ඇවිත්.... ඒ නිසා.... විවෘත ආර්ථිකය ගමටත් ඇවිත්..... අලුත් පාලමෙන් සංකේතවත් කරන්නේ ගමටත් විවෘත ආර්ථිකය ඇවිත් කියලා.
තොටියා පාරුවේ තනිවෙලා.... දැන් ඉතිං මගේ සේවය ඕනෑ වෙන්නේ නැහැ... කඩිමුඩියේ පාළම හැදෙනවා... පාළම හැදෙද්දි ගමේ තිබුණු නිසංසල බව... පලා ගිහිං..... ගල් කඩනවා. යකඩ තලනවා... හරියට හෙණ ගහනවා වගේ.... මේ සද්දෙට කැලෑවේ හිටපු කුරුල්ලන්... කොබෙයියන්.... සිවුපාවුන්... පලා ගිහිං.... දැන් කෝ ගමේ සුන්දරත්වය... විවෘත ආර්ථිකය ඒ සුන්දරත්වය ගිලගෙන...
විවෘත ආර්ථිකයේ හොඳ සේම නරකත් තියෙනවා.... ගමකට පාළමක් එන එක හොඳයි.. ඒත් හේමසිරි මේ ගීයෙන් කියන්නේ පාළම නමැති විවෘත ආර්ථිකය නිසා ගමට නොහොබිනා දේත් එන්න පටන් ගත් බවයි.
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා... ගෙනියන්නට බැරි බර පොදි තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනැහී ගෙන යනවා වාගෙයි....
මගේ දෑතේ ඇඟිලි හබලටම දියවුණා... එදා මගේ පාරුවෙන් ගෙනියන්නට බැරි බරත් තිබුණා... සමහර විට මේ තොටියා පාරුව පැදවූයේ ගමත් නගරයතA නගරයත් ගමත් යා කරමින්.. වෙන්න ඇති... නගරයේ සිට අනවශ්‍ය දෑ තොටියා ලවා ගමට ගෙන එන්න සමහරු දැරූ උත්සාහය ඔහු ප්‍රතික්‍ෂේප කරන්නත් ඇති...." ගෙනියන්නට බැරි බර පොදි තිබුණා" කියා ඔහු කියන්නේ ඒ නිසයි. ඒත් පාළම හැදුනට පස්‌සේ....
"මෙතෙක් කලක් ගමට නොආ බර අද ගමට එනවා.... ඒ එන්නේ එදා එය ප්‍රතික්‍ෂේප කළ තොටියාටත් සරදම් හිනාවක් නගමින්...." මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි..."
ගීය ගැන හේමසිරි මෙවැනි අදහසක් ද පළ කළා....
විවෘත ආර්ථිකය නගරය වසාගත්තා.... ඒත් ගම... ආරක්‍ෂා වී තිබුණා... ඒ කෙටි කාලයයි. පාළම උඩින් කන්ටේනර් පිටින් ගමට ආවේ හෙරොයින්.... අසැබි චිත්‍රපට... අපචාර.... ගමත් විනාශ වෙන්න පටන් ගත්තා.... ගමේ තිබුණු පොල්කටු හැන්ද වෙනුවට පිටරටින් හැඳි ආවා... කොස්‌ස ඉදල වෙනුවට... ආදේශක ආවා... මැටියෙන් හැදූ හට්‌ටි වළං වෙනුවට ඇලුමිනියම් හට්‌ටි මුට්‌ටි මුළුතැන්ගෙට ඇවිත්..... මම මේ ගීයෙන් කියන්න උත්සාහ කළේ ඒ දේ... මාස්‌ටර් වගේ කෙනෙක් සමඟ කළ පළමු ගීය මෙතරම් ජනප්‍රිය වීම... අමරසිරි පීරිස් එය ගායනා කිරීම මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්....
|
No comments:
Post a Comment