Friday, July 26, 2013

Gunadasa kapuge


Sinahala Sindu Kiyana

83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..

ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා.

තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී
 



උපුටා ගැනීම :http://www.elakiri.com/forum/showthread.php?t=1313860

Gunadasa kapuge


Dawasak Pela Nethi hene

සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ. 

"දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා"

පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.



"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ. 



"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.



" නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා


බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ


"

කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...


මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85 
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

Gunadasa kapuge


Unmada Sithuwam Mawe Bide

උන්මාද සිතුවම් මැවෙ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සඳා සරණ මට
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...


Gnadasa kapuge


Oba Pem Karana Obe Kumari

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...





ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...

සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක්‌ හදවතින් කොතරම් හඬා වැටෙනවද...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.


 Source : දිවයින - මීවිත

Hadanna Lanwa Athi Obe Nuwan Pura

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...

තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ...

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ...

ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්‌... එක පැත්තකින් බලද්දී... මුළාවක්‌... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස්‌ වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි.


අපි කැමැති හැම දෙයක්‌ම අපට ලැබෙනවද... නැහැ... අපිට වුවමනා දේමද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙ... නැහැ.... සොබා දහමත් එහෙමයි.... සොබා දහමටත් බැහැ අපි කැමැතිදේම ඉටු කරන්න....


හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...


මේ ගීතයෙන් කියන්නෙත් එහෙම කතාවක්‌. ආදරයේ අවිනිශ්චිත බවයි මේ යුවළ අතර ඇතිවන සංවාදයෙන් අර්ථවත් වෙන්නේ...

ඔබේ දෙනෙත් හැඬුම් බරයි.... එයෙන් පෙනෙන්නේ ජිවිතයද... ඔහු අසනවා... සුසුම් සිරවෙලා... පිටකරන්න බැහැ... ඒ කියන්නේ ජීවිතේ මුලාවක්‌ කියලද... ඇය කියනවා...

මේ ගීය ලියුවේ බන්ධුල නානායක්‌කාරවසම්... ගීයට නිමිත්තක්‌ නැහැ... ඒත් ගීය පසුබිමේ හොඳ කතාවක්‌ තියෙනවා...

මේක තමයි තනුවකට වචන දමා ජනප්‍රිය වූ මගේ පළමු ගීතය... රෝහණ වීරසිංහ තනුව කැසට්‌ එකකට ටේප් කරලා මට දුන්නා... මම ටේප් එක ඇහුවා... තනුවට ඔහු වචන ටිකකුත් දමලයි තිබුණේ...

නටන්න ගස්‌ වටේ දුවන්න කෑගසා.. වැල්වලින් එතී 
රඟන්නකෝ....
ඉන්පස්‌සේ තරු ඇසත්... පද පෙළ වෙනුවට,
ප්‍රේමයේ සුසාන භූමියේ....
මළ මිනී සිනා සිසී නැගේ...

කියලා රෝහණ ලියා තිබුණා. ඒ කාලේ සුනිල් අර්. ගමගේලාට පිළියන්දල සුපර් මාර්කට්‌ එකේ සාප්පුවක්‌ තිබුණා. කටුවාවල ගෙදර ඉඳලා සුනිලුයි නෝනයි දෙන්නම මේ සාප්පුවට යනවා. එහෙම දවසක මමත් හිටියේ ඒ ගෙදර. මම ගෙදර නැවතුනා සිංදුව ලියන්න. ගෙදර කවුරුත් නැහැ... සිංදුව ලියන්න මට මොන විදිහකින්වත් වචන එන්නේ නැහැ... දවල් එකොළහ වෙද්දී හිතුනා ලියන්න බැහැ කියලා... දමලා ගහලා දොරවල් වහලා මමත් ගියා සාප්පුවට සිද්ධිය කිව්වා. "මල්ලී... මටත් ඔහොම වෙනවා... ගණන් ගන්න එපා... ආපහු ගෙදර ගිහින් ලියන්න කියලා බල කළා... මම ආයෙත් ගෙදර ගියා... මේ ගීය එඩ්වඩ් එක්‌ක ධම්මිකාත් ගයනවා කිව්වාම මම ආසාවෙන් හිටියේ... ඇය කීර්ති එක්‌ක ගයන කවිකාරියේ... ගීතය ඒ කාලේ හරිම ජනප්‍රියයි. මම ගීය ලියන්න කලින් ධම්මිකාව හිතේ මවාගත්තා... ඉබේම වචන ආවා...


තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ....


ගිරි මුදුනින් උදාහිරු පායද්දී තරුවල ඇස්‌ ඇරෙනවා... බිම්මල් පවා මුවපුරා හිනාවෙනවා... ඔහු කියද්දී ඇය එහි නිස්‌සාර බව, අනියත බව සිහිපත් කරන්නේ මෙසේයි.

තරු ඇස්‌වලින් කියන කතා මිය යාවිද... බිම්මල් මුව පුරා නඟන සිනා මැකී යාවිද... මේ වෙනසම නේද ආදරේ කියන්නේ...

මේ ගීයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුනා... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සිනා පොදක්‌ උත්සවේදී ප්‍රසිද්ධියේ කිව්වා "මම නම් ජීවිතේට හිතුවේ නෑ කලින් දුන්නු තනුවකට හඬන්න ළංව වගේ වචනවලින් ගීයක්‌ ලියෑවේවි" කියා මහාචාර්යතුමා කිව්වා...


සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ.....


කුමුදු මල් පිපෙන්නේ ජලයේ... සඳකිරන නිසා කුමුදු මල සුදට සුදේ ලස්‌සනට පිපෙනවා... ඒත්... හිරු ඇවිත් ඒ මල් විනාශ කරයි... ඒක දුකක්‌... ඒත් ඒ දුකත් සැඟවිලා යාවි... ආදරයේ අර්ථයත් මේකද....

මේ ගීය උපමා රූපකවලින් පිරුණු ගීයක්‌... එඩ්වඩ් ජයකොඩිගේ සරාගී හඬට ධම්මිකා බණ්‌ඩාරගේ හඬ ඉතා මැනවින් ගැළපෙනවා.... රෝහණ වීරසිංහයන් බටහිර තාලයෙන් වගේම පෙරදිග තාලයටත් ගීතය හැඩකර තිබෙනවා... හොඳින් අසන්න.... හඬන්න ළංව... කොටස කියද්දී ඩ්‍රම්ස්‌ නාදය යොදාගන්නා රෝහණ "තරු ඇසත් ඇරී උදාගිරේ..." කොටසේදී තබ්ලාව යොදා ගන්නවා... ගීතයේ ජනප්‍රියත්වයට මෙයද හේතු වූ බව බන්ධුල පිළිගන්වා....

Source : දිවයින - මීවිත 


Dura Atha Atheethaye

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී...

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...
දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්‌. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක්‌ ඈතට අරගෙන යන්න විතරයි.

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

මේ පරාජිත පෙම්වතාත් ඒ විදිහට මතකය ඈත අතීතයට ගෙන යනවා. ඔහුගේ ප්‍රේමය අද වෙද්දී බිඳිලා. ඒත් හිත ආසා කරනවා ඈත අතීතයට යන්න. ඒ තනිව නොවේ. අහිමි වූ පෙම්වතියත් සමගින්. එහෙම අතීතයට ගිහින් වෙන්වූ තැනින් යළි ආදරය පටන් ගන්න ඇත්නම්.

චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගයන මේ ගීය රචනා කළේ හෙසලා ගුණතිලක. යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා. අපි මීට කලිනුත් ඔහුගේ ගී පද වැලක අරුත් දිගහැරියා.

"මම මේ ගීය ලියුවේ අසූතුනේදී විතර. එතකොට මමත්, අම්මාත්, මල්ලීත් මහගෙදර පදිංචිවෙලා හිටියේ. එක දවසක්‌ පාසල් ඇරෙන වේලාවක මල්ලි මගේ කාමරයට ඇවිත් මේක අරයා දෙන්න කිව්වා කියලා මට පාර්සලයක්‌ දුන්නා. දීලා සවුත්තුවට හිනාවෙලා මල්ලි යන්න ගියා. උපන්දින සුබ පැතුමක්‌ සමග පුංචි සිහිවටනයක්‌, රස කැවිල්ලක්‌ ඒ පාර්සලයේ තිබුණා. මම ඔයාට තවමත් ආදරෙයි කියලා මට නුහුරු නොවන අත් අකුරින් ලියූ කොළ කෑල්ලකුත් තිබුණා. මට ඉබේම ඒ කොළයේ අනෙක්‌ පැත්තේ "අර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්... ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්..." කියලා ලියෑවුණා.

ඔබ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී

නොසිතුව ලෙසකින් අපේ සිත් අතර ගැටුමක්‌ ඇතිවුණා. ඒ නිසාම අපි දෙන්නගේ සිත් දෙලොවක සිරවුණා. ඒත්... ඒත්... අපේ ඒ ආදරය මගේ හදවත පතුලේ තාමත් රැඳිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ ගැන... මා ගැන... අපි ගැන මගේ හිතේ සිහින උපදින්නේ.

හෙසලා යළි ගීය ගැන මෙහෙම කිව්වා. මගේ නිර්මාණ ජීවිතයේ මුල් ගුරුවරිය වගේම විචාරකයා මගේ ආදරණීය අම්මා. සිංහල භාෂාව ගැනත්, සාහිත්‍ය ගැනත් හසල දැනුම් ඈ සතුයි. ඇගෙන් සෑහීමකට පත්විය හැකි වචනයක්‌ අහන්න අමාරුයි. මම ලියපු පදවැල අම්මට පෙන්නුවා. ඈ එදා කීවා "අද නං පුතා අලුත් විදිහකට හිතල ලියලා කියලා..."

මගෙත් චන්ද්‍රසේනගේත් මිත්‍රත්වය ඇරැඹුණේ මේ ගීයෙන්. මගේ ගීත එකතුවක්‌ මගේ මල්ලිගේ මිතුරෙක්‌ විසින් චන්ද්‍රසේනට පෙන්වා තිබෙනවා. ඔහු "අර ඈත අතීතයෙ" ගීය තෝරා ගත්තා. අර ඈත කියන වචනය චන්ද්‍රසේන දුර ඈත කියා වෙනස්‌ කර ගායනා කරනවා. එදා මගේ ගීත චන්ද්‍රසේන අතට පත් කළ මල්ලිගේ යාලුවා කුමුදු මල්ලී... උප පොලිස්‌ පරීක්‌ෂකයෙක්‌ ලෙස යුද්ධයේ ගොදුරක්‌ බවට පත්ව රට ජාතිය වෙනුවෙන් දිවි පුද කළා. මල්ලී අද පාදුක්‌ක රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා.

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...

මේ පෙම්වතා යථාර්ථවාදීව හිතන්නෙක්‌. ඔහු දකින්නේ කවදාවත් සැබෑ නොවන බොළඳ හීනයක්‌ බව දන්නවා.

"ඒත් ඊළඟ මොහොතේ යළිත් ඔහු බොළඳ වෙනවා. මට ආයෙත් ඔයාව දකින්න ආසයි. ඒ නිසා ඒ සිහිනෙන් මිදෙන්නේ නැතිව අපි සිහිනය තුළම සැරිසරමු..." කියා ඔහු කියනවා.

විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්‌. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්‌මවා ගිය ස්‌වරූපයක්‌ මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක්‌ ඉටු කරනවා.


 Source : දිවයින - මීවිත

Apasu Yannata Para Kiyanawada

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ


ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.



 පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි


Source: