Wednesday, February 13, 2013

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු

"සැරයටියෙන් අපි යනෙන තුරා" ගීතයේ අත්දැකීම පොල් කඩන අන්ධ අයකුගේ කතාවයි....෴

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ

මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා

සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
_____________________
ගී පද - සෝමපාල ලීලානන්ද
ගී තනු - සරත් දසනායක
ගී හඬ - විජය කුමාරතුංග/චන්ද්‍රලේඛා පෙරේරා


‘සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයේ අත්දැකීම පොල් කඩන අන්ධ අයකුගේ කතාවයි

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

මේගීතය අහලා නැති රසිකයෙක් නැති තරම්. විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතයට මියුරු තනුවක් යොදා එය සංගීතවත් කළේ සරත් දසනායක. ඒත් ගීතය ලිව්වෙ කවුද? මේ ගීතය විතරක් නෙමෙයි ලංකාවේ ජනපි‍්‍රය ම ගීත රැසකම නිර්මාතෘවරයා ඔහු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

‘පාටපොදක් තිලක ලා’ (එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක), ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ (මිල්ටන් මල්ලවආරච්චි), ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ (ලතා වල්පොල), ‘කැන්දන් යන්නම් මල්මල් මාලා දාලා’ (පි‍්‍රයා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද සහ පිරිස) වැනි ගීත පවා ලියු මේ රචකයා කවුද? ඔහු සෝමපාල ලීලානන්ද.

සෝමපාලට කලා ලෝකයේ තියෙන්නේ දිගු ඉතිහාසයක්. මුලින්ම ඔහු පුවත්පත් කලාවේදියෙක්. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹු සෝමේ ‘ලස්සන’ යන නමින් එවක පළවූ පුවත්පතේ උප කතුවරයකු ලෙස සේවය කළා.

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ‘සංගීත මංජරිය’ට සම්බන්ධවීම සෝමපාලගේ කලා ජීවිතයේ වැදගත් අවස්ථාවක්.

“ඒ කාලේ වික්ටර් රත්නායක, සරත් දසනායක ‘සංගීත මංජරියේ’ හිටියා. වික්ටර්, කේමදාස මාස්ටර් යටතේ වයලින් වාදනය කළා. සරත් වාදනය කළේ සිතාරය.” සෝමපාල අතීත අත්දැකීම් මතකයට නඟනවා.

සරත් දසනායක ‘සංගීත මංජරි’යෙන් සමු ගත් දවස සෝමේට හොඳහැටි මතකයි.

“කේමදාස මාස්ටර් දසේට ලියුමක් ලියලා තිබුණා. ඒකේ තිබුණේ වචන දෙකයි. ඒ ‘වහාම පිටවෙන්න’ යන්නයි. දසේ සිතාරයත් අරන් පාරට බැස්සා. ඒක තමයි ඔහුගේ ගමනක ආරම්භය. මමත් එදාම දසේ එක්ක ‘සංගීත මංජරි’ යෙන් එළියට බැස්සා.”

පේ‍්‍රමසිරි කේමදාස සරත් දසනායකට එහෙම ලියුමක් ලිව්වේ ඇයි?

“ඒකට හේතුව මට අදටත් හිතාගන්න බැහැ. මං දන්න තරමින් දෙන්නා අතර අහිතක් තිබුණේ නැහැ. එක්කෝ මොකක් හරි කේළමක් වෙන්න ඇති.”

සරත් දසනායකගේ ප්‍රධානම සංගීත භාණ්ඩය සිතාරය. සෝමපාල කියන විදියට සිතාර් වාදකයෙක් විදියට දසේ රවි ශන්කර්ටත් වඩා දක්ෂය.

දෙන්නගේ සිතාර් වාදන දෙකක් එකට තියලා අහන්න කවුද දක්ෂ කියලා. ඇත්තටම රවි ශන්කර්ට මම දෙන්නෙ දෙවැනි තැන.”

සෝමපාල ලියපු මුල්ම ගීතය රසිකයන්ට අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ගීතය පටිගත වුණත් එය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැහැ. චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඒ ‘අක්කර පහ’.

“ඒ දවස්වල තිස්ස අබේසේකරයි මමයි ‘සංඛ’ කියන වෙළෙඳ දැන්වීම් ආයතනයේ එකට වැඩ කළා. තිස්ස ‘අක්කර පහ’ චිත්‍රපටයේ තිරනාටක රචකයා. තිස්ස තමයි මට ආරාධනා කළේ මේ චිත්‍රපටයට සින්දුවක් ලියන්න කියලා. ඒ අනුව මා ලියූ ගීතය ආචාර්ය අමරදේවයන් ගායනා කළා.

ඒත් චිත්‍රපටය තිරගත වෙද්දි ඒ ගීතය චිත්‍රපටයේ තිබුණේ නැහැ. මං දන්නේ නැහැ මේ කතාවේ ඇත්ත නැත්ත. ‘අක්කර පහ’ නවකතාව ලියූ මඩවල එස්. රත්නායක මේ චිත්‍රපටයට සින්දුවක් දානවට කැමැති වෙලා නැතිලු. ඒකයි සින්දුව ඉවත් කිරීමට හේතුව.”

සෝමපාලට ගීත ලිවීමේ හැකියාවක් ඇතිවුණේ කොහොමද? ඔහුට තිබුණු සෞන්දර්යාත්මක පසුබිම මොකක්ද?

“පාසලේ අපි සාහිත්‍ය ඉගෙන ගත්තා. අපේ ගුරුවරුන් අපිට බොහෝම රසවත්ව ඒවා ඉගැන්නුවා. මා කුඩා කාලයේ පාණදුරේ අරියධම්ම හාමුදුරුවෝ රාජගිරියේ තපෝවනයේ හිටියේ. එතකොට උන්වහන්සේ සාමණේර භික්ෂුවක්.

උන්වහන්සේ තමයි දවසක් මට කිව්වේ උදේට පිනි වැටෙන ශබ්දය අහන්න, මල් පිපෙන ශබ්දය අහන්න පුරුදු වෙන්න කියලා. මම අදටත් උදේට නැගිට්ටම ඒ සද්දේ අහගෙන ඉන්නවා. කලාව පටන්ගත්තේ එතැනින්.”

සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමපාලටය. ඒ ‘විශ්මය’ චිත්‍රපටයෙනි. නාමාවලියේ නම සඳහන් නොවුවද එම චිත්‍රපටයේ තිරනාටකය සෝමෙගේය. ඔහු මේ චිත්‍රපටයට ගීතයක් ද ලීවේය. ගායනා කළේ ආචාර්ය අමරදේවයන්ය.

“විශ්මය චිත්‍රපටයේ මුල් නම ‘සහනය’. ප්‍රධාන චරිතය රඟපෑවේ මිල්ටන් ජයවර්ධන. ඒත් පස්සේ ඔහු වෙනුවට විජය කුමාරතුංග යොදාගත්තා. මිල්ටන් මට ‘අක්කර පහ’ චිත්‍රපටයේදි මුණගැහිලා තිබුණා. ඒ දැනහැඳුනුම්කමින් තමයි මම ඔහු මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.”

‘විශ්මය’ චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද විණි. සරත් දසනායක හා සෝමපාල ඉන්පසු එක්වූ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය ඊට පෙර ප්‍රදර්ශනයට ආවේය.

ඇත්තටම සරත් දසනායක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙනි. ඊට ගීත ලිව්වේ කරුණාරත්න අබේසේකර හා සෝමපාල ලීලානන්දය.

“කරු අයියා ලිව්වෙ ‘අමර පෙම් ලතාවේ’ සින්දුව. ඉතිරි සින්දු ටික මම ලිව්වා. ඒ ‘දෑසේ මාගේ සැතපෙනා’, ‘වාසනාව දොර ඇරලා බලනවා’, ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’.

සදහටම ඔබ මගේ නිෂ්පාදනය කළ සේන සමරසිංහ මුලින් කැමැති වුණේ නැහැ එවකට ආධුනිකයකු වුණු සරත් දසනායකට මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය භාර දෙන්න.

ඔහු යෝජනා කළේ එවක ජනපි‍්‍රයම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා වුණු පී.එල්.ඒ. සෝමපාල ගේ නම. ඒ වෙනකොට දසේ හොඳ වෙලාවට ජෝතිපාල වෙනුවෙන් වෙළෙඳ තැටියට සින්දු හතරක් කරලා තිබුණා. ඒවා ‘ශන්’ කියන පුද්ගලයාගේ නමිනුයි තිබුණේ.

ඒ සින්දු තමයි ‘නීල දෑස පුරා’, ‘ටජ්මහලක් තනවන්න බෑ මට’, ‘දිය පොදක් වෙමින්’, ‘පහන් ටැඹ යට’ යන සින්දු. අපි ඒ සින්දු ටික සේනට අහන්න සැලැස්සුවා. ඔහු ඒ සින්දු ටිකට කොයිතරම් කැමැති වුණාද කිව්වොත් ඔහු ඒ මොහොතෙම එකඟවුණා දසේට සංගීත අධ්‍යක්ෂණය භාර දෙන්න.

ඉන්පසු සේන සමරසිංහ, සරත් දසනායක, සෝමපාල ලීලානන්ද ත්‍රිමූර්තියෙන් චිත්‍රපට ගණනාවක් තැනිණි. ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’, ‘ආශා දෑසින්’, ‘මල් කැකුළු’, ‘ඈතින් ඈතට’ වැනි චිත්‍රපට ඊට උදාහරණය.

‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ සියලු ගීත රචනා සෝමේගේය. ‘පාට පොඳක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ එම ගීතය. මේ චිත්‍රපටයේ කතාව, දෙබස් හා තිරනාටකය ද සෝමේ ගේ වීම විශේෂත්වයකි.

“යෞවන උයනේ පියුම් තටාකේ” (නිල්ල සොයා) ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා) ‘කඳුළැලි නෑනේ අප රැහේ’ (මිහිදුම් සිහින) ‘නෙළූ මලෙකිය’ (අහිංසා) සරත් දසනායක සෝමපාල ලීලානන්ද නිර්මාණාත්මක එකතු වෙන් බිහිවූ තවත් මධුරතර ගී කීපයකි.

සරත් දසනායකගේ සංගීතයෙන් පරිබාහිරව සෝමේ ලියූ ගීතයක් අතිශය ජනප්‍රිය විය.

ඒ ‘රජ දරුවෝ’ චිත්‍රපටයට ලියූ ග්‍රේෂන් ආනන්ද ගයන ‘බිළිඳුගේ දරුවනේ මගේ’ ගීතයයි. ඊට තනු යොදා සංගීතවත් කළේ සෝමපාල රත්නායකයි. සෝමපාල එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයකි.

අපි සාමාන්‍යයෙන් තනුව හදලා ඒකට බොරු වචන ටිකක් දානවා. ඊට පස්සේ තමයි සින්දුව ලියන්නේ. උදාහරණයක් විදියට ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා’ ගීතයට සරත් දසනායක මේ විදියේ බොරු වචන ටිකක් දැම්මා. ‘බන්දනි පුංචි පැලේ නාන වෙලාවේ - සබන් ගානවා ඇඟෙන් සුවඳ හමනවා.’

ඉතිං ඊට පස්සෙ ඇත්ත වචන දානවා.”

සෝමේ පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’

“මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ.

“සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයට පාදක වන්නේ සැබෑ අත්දැකීමක්ද?

මීට අවුරුදු 11 කට පෙර අප සෝමේ ගෙන් ඒ ගැන ඇසූ විට ඔහු දුන්නේ තනි කෙටි උත්තරයක්.

“ඔව්. ඒක එහෙම තමයි”

එහෙත් මෙවර ඒ සැබෑ අත්දැකීම හෙළිදරව් කර ගැනීමට අපට හැකි වුණා. “මම මීට කලින් මේ අත්දැකීම කාටවත් කියලා නැහැ.

අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ.

කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ.

සින්දුවේ එක තැනක තියෙනවා.

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමු සසරින් නික්මෙනදා

“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

No comments:

Post a Comment