Wednesday, February 13, 2013

අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා

අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴

අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා

උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ

මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
දිගන්තයේ ජය ධජ නැගු හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි
_______________________
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී තනු - ප්‍රේමසිරි කේමදාස
ගී හඬ - විශාරද නන්දා මාලනී

අපට පුංචි කාලෙ තිබුණ එක ම ජනමාධ්‍යය රේඩියෝ එක විතරයි. අපේ ගෙදර කලින් ම නැඟිටින්නේ අපේ තාත්තා. තාත්තා අපට ඇහැරවන්න හැමදාම උදේ රේඩියෝව සද්දෙට දානවා. අම්ම නැගිටලා තේ එකක් හදනකන් කම්මැලිකමට ගුලිවෙලා මං රේඩියෝව අහනවා. මගෙ කම්මැලිකම නැති කරල ඇඳෙන් නැගිට්ටවන සින්දුවක් ගැන තමයි අද මේ ලියන්නෙ. මේ ගීතයට ඇත්තට ම මං ණය ගැතියි.

“අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා

මේ පදමාලාව නන්දා මාලනිය ලයාන්විතව ගායනා කරන කොට මට රට ගැන, භාෂාව ගැන, ආගම ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. මං ඉස්කෝලෙ යන්නෙ මේ ආදරේ පපුවෙ පුරවාගෙන. ජීවිතේ ගොඩක් තැන්වලදී මගේ තීරණ වෙනස් කරන්න ඒ හැඟීම බලපෑවා.

අද කාලෙ නම් ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟ උදෑසනින් වාඩි උණොත් කී දෙනකුට ඒ වගේ හැඟීම් ඇතිවෙනවා ද කියල සැකයි. (මෑත කාලෙ දි නම් ගුවන් විදුලි නාළිකා කීපයක් වැරදි නිවැරදි කරගෙන තියෙනවා) ඔන්න නිවේදකයෙක් නිවේදිකාවක් ඇවිල්ල ‘හායි ගුඩ් මෝනිං ගම්මුද fun එකක් කියලා කිචි බිචි ගාන්න පටන් ගන්නවා. දෙන්නා කියවන ඒවට හිනායන්නැති නිසා හිනාවක් රෙකෝඩ් කරල දානවා. මට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සිහිවෙනවා. ඔවුන් ඉන්නව නම් පපුව පැලිලා මැරෙයි දුක හිතිලම.

මේ බොයිලර් නිවේදක නිවේදිකාවො පාවිච්චි කරන වචන දිහා බැලුව ම අපෙත් පපුව පැලෙනවා. ඒ තරමට ම දෙස බස රැස සුරැකෙනවා. කරුණාරත්න අබේසේකරලා වගේ ගීත රචකයො ළඟ දණ නමන්න හිතෙන්නෙ ඔන්න ඕවා ඇහෙනකොට. මක්කොරන්නද? එතුමන්ලා දිවංගත වෙලා නොවැ.

ප්‍රේමකීර්තිලා, ධර්මසිරි ගමගේලා, ඩෝල්ටන් ලත් ළඟ පාත නෑ නොවැ. සුනිල් ආරියරත්න මහත්තයලා අජන්තා රණසිංහ මහත්තයලා හොඳට ලියපු අය. ඒ අයටත් විවේකයක් එපායැ. නිලාර් ලා බුද්ධදාස ලා, බණ්ඩාර ඇහැලියගොඩ, රවි සිරිවර්ධනලා අතිනුත් හොඳ නිර්මාණ බිහිවෙනව.

කරුණාරත්න අබේසේකරයන් එක පෑන් පාරෙන් අප ව අවදි කරනවා. ක්‍රිකට් මැච් එකක් වෙලාවට ජාතික කොඩිය අලවා නොගන්නෙ ලිංගේන්ද්‍රියෙ විතරයි මගෙ සිතේ.

ඒ තරම් ම දේශාභිමානෙ. ඒත් වැඩක් කරන කොට, වැඩේ බාගෙට කරල කොමිස් පාරක් පගාවක් ගහල සාක්කුව පුරවා ගන්නවා. එතකොට දේශප්‍රේමෙ ඉවරයි. කරුණාරත්න අබේසේකරයන් මේ අඬගසන්නෙ එවැනි දේශප්‍රේමෙකට නෙමෙයි.

උදාසීන ජාතිය නිදි
කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම්
නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින්
හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු
අපි ඉතිහාසේ

මේ ගීතය ඇතුළෙ බොදු හැඟීමක් එක්ක දේශාභිමාන මිශ්‍රවෙලා තිබුණට කිසිම ජාතියකුට ආගමකට නිග්‍රහයක් සිද්ධ වෙලා නෑ.

“මුනි සිරිපා පියුම් පිපුණ
මේ මහ දෙරණයි
දිගන්තයේ ජය ධජ නැ¼ගු
හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන්
මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන්
අපහට උරුමයි

ශ්‍රී ලාංකීය සරල ගීතය තුළ වෙනස්කම් ඇතිවිය යුතු සැබෑ වකවානුව මෙය යැයි සිතේ. සින්දු ඇහුවේ ඉස්සරයි. දැන් සින්දු බලන යුගයයි. සින්දුවල විෂුවල් තරම් ‘ගොන් පාට්’ දේශපාලන ලෝකයේ වත් නොමැත. රස වින්දනයේ ලිබරල් අයිතිය වෙනුවෙන් කටපියා ගෙන සිටින්නට වී ඇත. කට ඇරියත් වැඩක් නැත. එහෙත් අඳුරට ශාප කරනු වෙනුවට එක් පහනක් හෝ දැල්විය යුතු ය.

තම තමන්ගේ පටි තද කරනවාට වඩා ජාතික වගකීමක් අප ඉදිරියේ පවතී. නැතිනම් අනාගතයේ බිහිවන සැබෑ රසිකයන් අපට ශාප කරනු ඇත. අද ගායක ගායිකාවන්ට ද විවිධ මානසික රෝග පවතී. එකකුට එකෙක් රුපියලකින් වත් බාල්දු වීමට අකමැති ය. සංදර්ශනයකට කැඳවා ගැනීමට ලක්ෂයකින් අඩු බැරි ය. අහවල් කෙනා මෙච්චරක් ගන්නවා නම් ඇයි මට විතරක් යනු ඔවුන්ගේ තර්කයයි. තව ටික කලකින් ගෘහස්ත වේදිකා හෝදා පාළු වනු ඇත. එසේ නැතිනම් සැබෑ රසිකයන් ශාලාවලින් පිටත සිටියදී දෙදාහේ තුන් දාහේ ප්‍රවේශපත් රැගෙන මුදලාලිලා පමණක් සංදර්ශන නරඹනු ඇත. මේ සියල්ල වළ කපා දෙන්නේ සුභාවිත ගීතයේ අනාගතයටයි. තමන්ගේ අභිමානයත් රැකෙන මධ්‍ය ලක්ෂයකට පැමිණෙන්නට ලාංකීය රසිකයෝ ඔබ සැමට අත දිගු කරති. ඒ අත සපා කෑමට පෙර දෙවරක් සිතන ලෙස, ගීත රචකයන් ගෙන් ද, සංගීතඥයන්ගෙන් ද ගායක ගායිකාවන් ගෙන් ද මම ඉල්ලා සිටිමි. මක් නිසාද?

“අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා.”

No comments:

Post a Comment