Wednesday, February 13, 2013

දිනෙන් දින ඔබ මා වෙතින්

සිංහල විරහ ගීතාවලියේ අමරණීය සිහිවටනයක්...෴

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනස ට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්...

මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්...

ඔබේ හසරැල් සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන
දිනෙන් දින ඔබ මා වෙතින්...
_____________________
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනු/හඬ - සංගීත් නිපුන් සනත් නන්දසිරි

හැත්තෑව දශකයෙ හි උදා වූ ඒ සිංහල සරල ගීතයේ අතිශය භාග්‍යවත් අවධියෙහි නිමැවුණු ගී පැබැඳුම් ද, සංගීත නිමැවුම් ද අප ගේ රස භාව වර්ධනය කරවන, අපේ රසඥතාව ඉසියුම් බවට පත් කරවන ගුණයෙන් යුක්ත විය.

එබඳු ගී ගැයූ විශිෂ්ට ගායක ගායිකාවන් ගේ ගායන කෞශල්‍යයය ද අතිශය හෘදයානන්දකර වී... එසමයෙහි අප වෙත නව ප‍්‍රහර්ෂයක්, නව අත්දැකීමක් බඳු වූ ගීතයක් මෙවර ඔබ වෙත ගෙන එමු. බණ්ඩාර කේ. විජේතුංගයන් ලියූ මේ ගීතයේ සංගීත නිර්මාපකයා හා ගායකයා වන්නේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි යි.

මා පළමු ව ගායනවේදී සංගීතඥ සනත් නන්දසිරි අමතා මේ ගීතය පිළිබඳ ව ඇසීමි.

“මේ ගීතය මගේ ගායන දිවියේ මුල්ම වකවානුවේ ගීතයක්. එකල කැසට් කලඑළි දැක්වීම් තිබුණෙ නැහැනෙ. මං මේ ගීය ගැයුවේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකටයි. ගීත රචකයා මගේ පාසල් මිතුරෙක්.

පසුකලෙක බණ්ඩාර කේ. විජේතුංග නමින් ප‍්‍රසිද්ධ වුණා. ඔහුගේ ඒ කාලයේ නම ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය ලිව්වේ ඒ ආනන්ද කේ. විජේතුංගයි. මේ ගීතය අඩංගු වූ සරල ගී වැඩසටහනට සිතාර් වාදනය කළේ නැසී ගිය සංගීතඥ සරත් දසනායකයි.

ආදරයේ විරහව ඉතා දැඩිව දනවන මේ පදමාලාව මගේ හිත සසල කළ එකක්. ඒ මගෙත් තරුණ කාලයෙ මේ ආදරයේ වියෝගය හොඳින් අත්විඳලා තිබුණු නිසා. ඉතින් මේ පදවැල අතට ගත්තම මගේ හදවතට හොඳින් දැනුණා.

මේ ගීතය මටම ලීවාදෝ කියලත් විටෙක සිතුණා. රචකයාත් මාත් හොඳ සමීප මිතුරන්. ඒ නිසා ගී පබැඳුමත් මට මිතුරෙක් වගේ වුණා. මගේ හදවතට සමීපව පැවැති විරහව, ඒ සංවේදනාව ඇසුරු කරමින්ම මා ඊට ඉතා ගැඹුරු මිහිරි තනුවක් යෙදුවා.

මගේ ගීතවලට ඒ කාලේ හොඳ රසික පිරිසක් හිටියා. අදත් මේ වගේ ගීත ශ‍්‍රාවකයන් අතර රැඳෙන්නෙ එවන් බුද්ධිමත් රසික පිරිසක් ඒ කාලෙ සිටිය නිසයි. අද වගේ යුගයක මේ ගීතය ගැයුවා නම් උසස් ශ‍්‍රාවක ප‍්‍රතිචාරයක් ඊට ලැබෙන්නේ නැහැ.

‘දිනෙන් දින ඔබ මා වෙතින්’ වැනි ගීත අප කෙරෙන් නිර්මාණය වුණේ සිංහල සංගීතයේ හොඳ යුගයකයි.

මේ ගීතයෙ තනුවට සංගීත කොටස් තුනක් මා යෙදුවා. ස්ථායි කොටසට එක තනුවක්. අන්තරා කොටස්වලට තනු වෙනස් විදිහටයි මා යෙදුවේ. මා ඒ විදියට නිර්මාණයක් කළේ මෙහි එන අදහසට අනුවයි.

‘රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ” කියන ගී කොටසේ තාලය එකක්. අනික් අන්තරා කොටස් ගැයෙන්නේ ඊට වෙනස් තනුවලට. සමස්ත ගීතයේම ස්වර රචනාව දෙස බැලීමේ දී “ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ” රාගයේ ඡායාව ගීතය පුරාම විසිර ඇති අයුරු දක්නට ලැබෙනවා.

විශේෂයෙන් දිනෙන් දින මා ඔබ වෙතින් යනුවෙන් ගැයෙන ස්ථායි කොටසේ අල්ප වශයෙන් ශුද්ධ ගාන්ධාරය යෙදී තිබෙනවා. ගීතයේ දෙවන අන්තරා කොටස වන “මලානික හදවිලේ ඉවුරේ” යන පද සලකා බලන විට එහි කෝමල රිෂභයේ ප‍්‍රයෝගය ද සිදුවී තිබෙනවා. එහෙයින් සුළු වශයෙන් ‘අහීර් භෛරව‘ රාගයේ ඡායාව ද දකින්නට පුළුවන්. එහිම ‘මිලින කුසුමක’ යන පදවල ස්වර රචනයෙහි ‘භෛරව රාගයේ ඡායාව ද මතු වෙනවා.

මෙලෙසින් බලන කල මේ ගීතයේ ගායනාව හා සංගීතය රාග කීපයක සංකලනයෙන් යුක්තයි. එහෙත් සමස්ත ගීතය ඇසුරේ වඩාත්ම උද්දීපනය වන්නේ පෙර කී පරිදි ‘ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ රාගය බව කිය යුතුයි.

මේ සියලු ප‍්‍රයෝග මා මීට ඇතුළු කළේ ගීතයේ පද රචනාවෙන් මතුවන විරහව හොඳින් උද්දීපනය කොට දක්වන්නයි.

එමෙන්ම සංගීත භාණ්ඩ මා යොදා ගත්තේ ද ඒ අනුවයි. විශේෂයෙන්ම සිතාරය මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා. අතුරු සංගීත ඛණ්ඩවලින් ද වැඩියෙන් මතු කළේ විරහ වේදනාවේ අයුර දනවන ස්වර සංයුතියක්.

කොටින්ම මේ ගීතය විරහ වේදනාව හොඳින් රසික හදවත්වලට සමීප කරවන ගීතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ගීතය වසර ගණනාවක්ම නොනැසී රසිකයන් ගේ මනස් තුළ රැඳී පවතින්නේ පදවැල මෙන්ම සංගීත නිර්මාණය ද අන්‍යෝන්‍ය වශයෙන් එක්ව රසය සිද්ධ කරන නිසයි.

‘දිනෙන් දින ඔබ’ ගීතයට සංගීතය නිර්මාණය කොට ගැයූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ මෙබඳු උසස් ප‍්‍රයත්නයන් නිසා සිංහල සරල ගීතයේ රුව ගුණ නිසැක ලෙස ම සපිරිණි.

එදා මේ පැබැඳුම කළ අග‍්‍රගණ්‍ය නිවේදකයා, පද රචකයා, ගැඹුරු කලාත්මක අන්තර්ඥානයෙන් හෙබි කලාකරුවා අද ජීවතුන් අතර නැත. බණ්ඩාර කේ.විජේතුංග නම් වන හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට සුලකල ගීත රැසක් ම දායාද කෙළේ ය. ඔහුගේ මේ ගී රචනාව වත්මන් නිසරු, බොල් සුනරුත් වදන් වැල් පෙරමුණ ගෙන සිටින යුගයක අප කාගේත් අවධානයට යොමු වුව මනා ය.

බණ්ඩාර කේ. විජේතුංගයන් කළ පැබැඳුම පිළිබඳව විමසා බලන්නට මා තෝරා ගත්තේ හැත්තෑව දශකයේ ගී පැබැඳුම් කරළියට ආ තවත් විශිෂ්ට ගීත රචකයකු වන කුමාරදාස සපුතන්තී‍්‍ර ය.

”හැත්තෑව අසූව දශකයන්හි බිහිවුණු සුභාවිත ගීතයේ නවෝදය උදා කිරීමට මෙහෙ කළ ගීත රචකයකු ලෙස බණ්ඩාර කේ.විජේතුංගයන් හඳුන්වන්නට පුළුවන්. ඔහු ගේ ගීත බොහොමයක පෙ‍්‍ර්මය හා ඒ ආශ‍්‍රිත සුන්දර හැඟුම් ජනිත කරවන සේ නිර්මාණය වූ ඒවා යැයි කීවොත් නිවැරැදියි. පෙ‍්‍ර්මයේ වුවද ඔහු බොහෝ කොට ඇසුරු කෙළේ විපුලම්භයයි.

ඒ වගේ්ම ඔහුගේ ගීත රචනා රසිකයන් අතර බොහෝ විට ප‍්‍රචලිත වූයේ මා හිතන හැටියට වැඩි දෙන ප‍්‍රියකරන පෙ‍්‍ර්මයේ දෙවන පාර්ශවය සේ සැලැකෙන වියොව හා පරාජය ඇසුරින් උපන් දුක - වේදනාව ඒ ගී බොහොමයකට වස්තු විෂයය වූ නිසා විය හැකියි.

මේ ගීතයෙනුත් බණ්ඩාර කේ.විජේතුංගයන් කියන්නට මහන්සි ගත්තේ් පෙ‍්‍ර්මවන්තයන් බොහෝ දෙනකුට පොදු ධර්මතාවක්. ඒ, තමා ඉතා තදින් ඇලුම් කරන පෙම්වතිය ගතින් ඈත්වන්නට ඈත්වන්නට ඇය පිළිබඳව මතකය තව තවත් අලුත් වෙමින් වඩවඩාත් තමන්ට ළංවීමයි.

බොහෝ රසික හදවත්වලට මේ තත්ත්වය සමීපයි. බණ්ඩාර මේ ගීතයේදීත් සුපුරුදු ලෙස සිය සිතැඟි ලෙස වදන් හසුරුවනවා. මේ ගීතයේ බස ගීතවත්. සරලයි. සුගමයි. සුපුරුදු පරිදි ගලායන බසක් ගීතය පුරාම දකින්නට ලැබෙනවා. වදන්වල හෝ අදහසේ කිසිදු බිඳීමක් නැහැ.

රුදුරු රළපෙළ හඬක් නොනැගේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරුමල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන

කොයිතරම් අපූරු යෙදුම් ද? ඔහුට රළ පෙළ හඬන හඬ නොඇසේ. රැයෙහි තරුමල් කිනිති’ නොපෙනේ. දෙනයන අන්ධයි. ඔහුට පෙනෙන්නේ ඇගේ රුව පමණයි. ඇසෙන්නේ ඇගේ හඬ පමණයි. එය නොකියා කියූ හැටි කෙතරම් කාව්‍යාත්මකද?

ඔහුට ඇගේ වෙන්වීම දැරිය නොහැකියි. ප‍්‍රියයන්ගෙන් ඈත් වූ විට ඔහු පත් වික්ෂිප්ත භාවයම භාව රූපයක් සේ ගී පද අතර රඳවන්නට බණ්ඩාර ගත් උත්සාහය සාර්ථක වූ බව මා මෙයින් දකිනවා. ඔහුගේ බොහෝ ගීත වගේම මේ ගීතයත් අති ප‍්‍රබලයි. එහෙත් ඒ ප‍්‍රබල බව තවත් උද්දීපනය කරන සරල රූපක භාවිතයක් මෙහි දකින්නට පුළුවන්.

භාවිත වදන් ඉක්මවා යන කිසියම් සෘජුව නොහැඟෙන යටි අරුතක් හැම යෙදුමකින්ම මතු කරන්නට ඔහු මහන්සි ගෙන තිබෙනවා.

”මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නොහැළෙන කඳුළු බිඳු වැනි”

මෙබඳු කාව්‍යෝචිත පද සංඝටනා ඊට හොඳම නිදසුනක්. හැත්තෑව දශකයේ බිහි වූ අති සුන්දරම පෙ‍්‍ර්ම ගීතාවලියේ අමරණීය සිහිවටනයක් ලෙස අදත් මේ ගීතය අප අතර පවතින්නේ මෙහි සරල සුගම අර්ථාන්විත පදවැල නිසයි.

මේ ගීතයේ සාර්ථකත්වයට මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිගේ භාවපූර්ණ සංගීත රචනාවද මහත් උදව්වක් වී තිබෙනවා. ඒ නිර්මාණ දායකත්වය නොවුණා නම් මෙවන් රසාලිප්ත වදන් වැලකට යෝග්‍ය සූක්ෂ්මාතමය ලැබෙන්නෙ නැහැ.

ඒ අර්ථාන්විත සුගම තනුව හා සංගීතය අපූරුවට ගැළැපී තිබෙනවා. ඒ වගේම සනත් නන්දසිරි ගායනවේදියා ගේ ගැඹුරු මියුරු ස්වරය මේ ගීතයට අවශ්‍ය භාවික, ගුණය තීව‍්‍ර කරනවා.

ගීතයක සැබෑ අරුත, රසය හා භාව ප‍්‍රබෝධය සේ සැලැකූ යුගයක උපන් සරු නිමැවුමක් නිසා දශක තුනකට පසුත් අප මේ ගීතය ගැන කතා කරනවා. නමුත් අද නිමැවෙන ගීතවලට මොකද වෙන්නේ? ඒවායින් රසය හා භාව ප‍්‍රබෝධය කෙසේ වෙතත් භාව ප‍්‍රකෝපය නම් සිද්ධ වෙනවා. සමහර නිර්මාණ දශකයක් කෙසේවත් වසරක් වත් ජනප‍්‍රිය වී තිබෙන්නේ් නැහැ.”

ඒ ප‍්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්තී‍්‍ර මේ ගීතය ගැන දැක්වූ අදහස් ය.

සැබැවින් ම මේ ගීය අභිනව ගීත රචකයන්ට පූර්වාදර්ශ සපයන නව සංගීතඥයන් ගේ ද අවධානයට යොමු විය යුතු රසභාවපූර්ණ ගී නිමැවුමක් බව කිය යුතු ය.

No comments:

Post a Comment