Wednesday, February 13, 2013

ඔබ ගියාම දුක මට දී

දුක තුළද ඔබම දකිමී...

ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටඡ් මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී....

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
තරු උමතු දුකින් දැවුනී....

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමී....
______________________
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

ආදරයෙන් එක්‌ වූ හදවත් දෙකක්‌ බිඳී විසිරී සුණු විසුණු වී ගියොත්.... ඒ විරහව තරම් වේදනාවක්‌ තවත් ඇද්ද....? ආදරයේ මිහිරත්, විරහවේ වේදනාවත් හරියට මහ සාගරය වගේ... ආදරය විරහවකට හැරුනොත්.... කෙළවර වෛරය වෙන්නත් පුළුවන්. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්‌ ගසකට සම කළ හැකි බව අපේ කව්, ගීතවල සඳහන් වන්නේ ඒ නිසායි.

විරහවේ ප්‍රතිඵලය වෛරය නොවන අවස්‌ථා බොහෝමයි.

ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී....

ඇත්තටම කොහොමද මේ දුක දරාගන්නේ. පෙම්වතා හැර ගියාම... ප්‍රේමය බොඳවී අවසන උරුම වන්නේ දුකම පමණි.... ප්‍රේමවන්තයන්ගේ සදාතන සිහිනය ටඡ්මහල්... ආදරයේ සංකේතය.... ඒත්.... ඔබ මා හැරදා ගිය පසු ඒ උත්තරීතර සිහිනයට කුමක්‌ද සිද්ධවන්නේ... එය විසිරී යනවා.... අනාතව සැරිසරන මගේ සිත ඉකිබිඳිනවා....

වියෝ වේදනාව ..... තදින්ම හදවතට වදින ගීයක්‌.... මේ හැඟුම්බර පදවැල් එක හුයකට ඇමිනුවේ නිලාර්.... නිලාර් එන් කාසිම්...

"මේක අපේ ක්‍ෂේත්‍රයටම සම්බන්ධ මගේ ජනප්‍රිය යාළුවෙකුගේ අත්දැකීමක්‌.... පෙම් සබඳතාව පළුදු වූ අවස්‌ථාවක මේ යහළුවාගේ පෙම්වතිය ඔහුට හසුන්පතක්‌ එවනවා... දැඩි මිත්‍රත්වය නිසාම ඔහු මට මේ හසුන පෙන්වූවා.... ඒ තුළ තිබූ දේ මේ ගීය ලියන්න මට නිමිත්තක්‌ වුණා... නිලාර් ගීයේ ආරම්භය ගැන කළේ එවන් සඳහනක්‌....

ගීතය වෙත ඔබේ අවධානය යොමුකරන්න... හොඳින් රස විඳින්න.... දැනෙන්නේ නැද්දරෑ මේක තාවකාලික දුරස්‌වීමක්‌ කියාත් හිතෙනවා.

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනි....
තරු උමතු දුකින් දැවුනී....

මේ පෙම්වතියගේ සෑම සබඳතාවක්‌ම රඳාපවතින්නේ ඔහු මතයි... ඒක සියුම් හුයක්‌ වගේ... ඒ හුය කැඩුණොත් ඇගේ ජීවිතයම අනාථ වෙනවා. ලෝකයේ පැවැත්ම තියෙන්නේ හිරුගේ ආලෝකය නිසා... ඔහු ඇය අතැර ගියා... හිරුත් ඒ දුකට මිය ගිහිං.... ලෝකය අඳුරු වුණා... තරු පවා උමතුව දුක්‌වුණා...

බලන්න විරහව කොතරම් ප්‍රබලද කියා..... වියෝ වේදනාවට මේ මුළු ලෝකයම දවා අළු කරන්නත් පුළුවන්.

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමි....

බොහෝ පෙම්වතුන්ට විරහවත් සමඟ උපදින්නේ වෛරය... ඒත් මේ පෙම්වතිය වෙනස්‌... ඔබ මට දුකදී ඈත් වුණා... ඒත් මට හිතෙන්නේ ඔබ මා ළඟම ඉන්නා බවයි... මම වෙන කිසිවකු ගැන හිතන්නේ නෑ... මා සිහින පුරන්නේ ඔබ ගැනමයි.... ඒ නිසා... ඔබදුන් දුක තුළ මා දකින්නේත් ඔබම පමණයි....

නිලාර් කියන ආකාරයට මේ පෙම්වතිය තම හැඟීම්වලින්, කඳුළු තුළින් විතරක්‌ නොවේ හෙළන සුසුම් වළින් ද දකින්නේ හැරදා ගිය පෙම්වතාවමයි.

මේ ගීතය ඇසූ බොහෝ කාන්තාවන් මට කතා කළා... වරෙක කටුනායක වැඩ කරන යුවතියක්‌ දුරකථනයෙන් පැයක්‌ විතර හැඬුවා. ඔයා ලියා තියෙන්නේ මා ගැනමයි කියා ඈ ඉකිබින්දා... ඒ නිලාර් මේ ගීය නිසා ලද ප්‍රතිචාරයක්‌.

සත්‍යයකි. විරහව විඳින ඕනෑම කාන්තාවකට මේ ගීය පොදුය. මේ එවන් යුවතියන්ගේ හෘද සාක්‍ෂිය කියෑවීමකි.

රෝහණ වීරසිංහගේ සංගීතය විරහ දුක වඩාත් දනවන්නක්‌. ගීතය ආභාෂයට ගෙන ඇති රාගය විරහා ලාපයකට උචිත බව වරෙක විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන තමන්ට කී බව ද නිලාර් සිහිපත් කළා.

මේ ගීයෙ පද පෙළින් පෙළට නිමා කර තිබෙන ආකාරය බලන්න.... එහි ඇත්තේ එකම රිද්මයක්‌. මේ රිද්මය ගීතයට පමණක්‌ නොව ගායනයට ද අපූර්ව අලංකාරයක්‌ ලබාදී තිබෙනවා.... ගීයෙ හඬ පිළිබඳ අමුතු සඳහනක්‌ අනවශ්‍යයි. ඇය නිරෝෂා විරාජිනී... ගීය ගයද්දී සැබෑවටම මෙය ඈ ලද අත්දැකීමක්‌දෝයි සිතෙන වාරද අනන්තයි. ඒ තරමට ඇගේ හඬ හැඟුම්බරයි....

No comments:

Post a Comment