Wednesday, February 13, 2013

Premaya saha sanda eliya

ප්‍රේමය සහ සඳ එළිය෴

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම්කතා
අසා සිටිනවා..

කඳුළු බිඳු ගලා ස‍ඳේ
තුරුලතා පුරා
සියොළඟ ම සැලී මගේ
නොහිම් හීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්

කියඹුවැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිහිලසින්
______________________
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - පණ්ඩිත් අමරදේව

අද මාගේ සටහන තැබීම ආරම්භ කිරීමට පෙර මහා කලාකරුවන් දෙදෙනකු ගීතය පිළිබඳ ව දැක්වූ අදහස් කීපයක් පාඨක ඔබ ඉදිරියේ තබමි. පළමු අදහස ඉදිරිපත් කරන්නේ මහගම සේකරයි.

"ගීත රචකයාගේ භාෂාව එක් ජාතියකට සීමා වෙයි. එහෙත් සංගීතඥයාගේ භාෂාව මුළු ලොවට ම සාධාරණ ය. ගීත රචකයාගේ භාෂාව සංගීතඥයාගේ භාෂාව සමඟ සංකලනය වෙමින් ගීතයක් නිර්මාණය වූ විට පදමාලාවට පෙර නොවූ විරූ ජවයක් ආරූඪ වෙයි."

(මහගමසේකර ගේ ගීත පෙරවදන)

මෙයින් පැහැදිලි වන්නේ පදමාලාව සුන්දර කාව්‍යයක් බවත්, එය මනරම් ගීයක් බවට පත්කිරීමේ වගකීමෙන් වැඩි ප්‍රමාණයක් සංගීතඥයා තුළ පවතින බවත් ය. මේ පිළිබඳ පණ්ඩිත් අමරදේවයන් දක්වන අදහස පහත පරිදි වේ.

"වර්තමාන ශ්‍රී ලාංකික සංගීත රසිකයන් බහුතරය සාහිත්‍ය රසාස්වාදය ඇසුරින් සංගීතය රසාස්වාදය, කරන බව පෙනේ. එසේ වුවත් ගීත සන්දර්භයේ අන්තර්ගත වූ සංගීත රසය තත්ත්වාකාරයෙන් ම වින්දනය නොකරන රසිකයන් ගේ අනුග්‍රහය සංගීතයේ ප්‍රවර්ධනයට හිතකර නොවේ.”

(ඩබ්.ඩී.අමරදේව - ජී.බී.සේනානායක ප්‍රභාෂණ)

කෙසේ වෙතත් සාර්ථක සරල ගීයක ත්‍රිපුද්ගල සංයෝගයක් පවතින බව නොරහසකි. සුන්දර පද රචනාවක් ප්‍රතිභාපූර්ණ සංගීතඥයකු අත මැටි පිඩක් බවට පත්වෙයි. ඔහු ඒ තුළින් පදමාලාව නැවතත් ප්‍රතිනිර්මාණය කර පදමාලාවේ අරුත තීව්‍ර කරයි. “සඳ හොරෙන් බලා” නැමැති කුලරත්න ආරියවංශයන් ගේ අපූරු පදමාලාව ප්‍රේමසිරි කේමදාසයන් නම් වූ සංගීතඥයා අතින් ගීයක් බවට පත්වී අමරදේවයන්ගේ සුමධුර හඩින් ගැයීමෙන් රසිකයන්ගේ ඉන්ද්‍රියන් ප්‍රීණනය වීම මේ සඳහා ප්‍රබල නිදසුනක් වේ.

සඳ තරම් කවියන්ට වස්තු වූ වෙනත් වස්තුවක් නොමැත. විද්‍යාඥයකුට එය වියළි අජීවී ග්‍රහ වස්තුවක් විය හැකි ය. එහෙත් හිරුගේ එළිය පතිත වී එයින් පරාවර්තනය වන්නා වූ මන්දාලෝකය මනුෂ්‍යයා තුළ සංකීර්ණ වූ භාවෝද්දීපනයන් කිරීමට සමත් වෙයි. එය ප්‍රේමවන්තයන් තුළ සරාගික හැඟීම් අවදිකරන්නටත්, විරහ විරහිනීන් තුළ විරහ වේදනාව අවුලවා තබන්නටත් හේතුවෙයි.

කුඩා ළමයකු තුළ සෞන්දර්යාත්මක හැඟීම් අවදි කරවන සඳ නැමැති අපූර්ව වස්තුව උපාසක උපාසිකාවන් තුළ අතිශයින් ශාන්ත වූ බුද්ධාලම්භන ප්‍රීතියක් අවදි කරවනු ලබයි. සඳ පිළිබඳ ව “හෙට ඉරක් පායයි” නැමැති කෘතියේ මහගමසේකරයන් තැබූ සටහනක් ඔබේ ආස්වාදය පිණිස මෙසේ ඔබ හමුවේ තබමි.

"මැණික් එබූ විසල් අහස්තලේ
අදත් එදා වගේ නිලෙන් දිලේ
එහෙත්
සඳවතී
මට අද
චන්ද්‍රිකාවක් (Satellite) පමණි
ජලය හෝ අම්ලකර මෙහි නොමැත
චන්ද්‍රයා මළ ලෝකයකි."

(හෙට ඉරක් පායයි 58 වන කවිය)
-මහගමසේකර-

මේ මඟින් මැවෙන්නේ කෙතරම් අපූර්ව චිත්‍රයක් ද? එසේම උත්ප්‍රේක්ෂා ලංකාරයෙන් මුළු පරිසරය ම සජීවීකරණය කිරීමට රචකයා සමත්වෙයි.

මේ පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමට සංගීතඥ කේමදාසයන්ගෙන් ලැබනේනේ නොමඳ දායකත්වයකි. “හොරෙන්” යන යෙදුම ඔහු තම සංගීත නිර්මාණයේ දී කීපවරක් ම භාවිතා කරනු ලබයි.

එවිට සඳ ප්‍රබල ප්‍රාණවාචී බවට පත්වී වලාකුළෙන් එබෙමින් රහස් අසන අයුරු මනාව චිත්තරූපයට නැඟෙයි. එසේම මේ රාත්‍රිය රසික දෑස් ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට “චෙලෝ” නැමැති සංගීත භාණ්ඩය භාවිතා කරයි. ඒ මඟින් නිසල සඳඑළිය මඳක් පතිත වූ අඳුර මුසු රාත්‍රියක් ප්‍රතීයමාන වේ.

රාත්‍රිය පුරාම තුරුලතා මතට පිණි බිංදු පතිත වෙයි. රචකයා මේ පිණිබිංදු දකින්නේ සඳට අයිති කඳුළු ලෙසයි. එසේ නම් ඒ සතුටු කඳුළු විය යුතු ම ය. අවටින් හමා එන මඳනළ සීත පිණි බිඳු හා මුසු වී පරිසරය සිහිල් වෙයි. ඒ සීතලෙන් ම ගින්දරක් මතුවෙයි. ඒ රාගයේ ගින්නයි. ඇගේ දෑස්වලට එබී බැලීමේ ආශාව ඔහු තුළ හටගනී.

”කඳුළු බිඳු ගලා ස‍ඳේ
තුරුලතා පුරා
සියොළඟ ම සැලී මගේ
නොහිම් හීතලේ
ඔබේ නෙත යදී
මහත් වියරුවෙන්”

සීත සුළඟ හමා එන්නේ ඇගේ කෙහෙරැළි අවුල් කරමිනි. ඇගේ නළල මත රැඳුණු කෙස් රොදක් මඳ සුළඟින් එසවී විත් ඔහුගේ කොපුලේ ගැටෙයි. අවදි වී තිබූ සරාගික හැඟීම් එක්වර ම සෞන්දර්යයකින් පිරීයන්නට පටන් ගනියි. රාගය ඉක්මවා යන ආදරයක් දයාවක් කරුණාවක් එක්වර ම ඔහු තුළ හට ගනී. ඒ අපූර්ව හැඟීම් සමුදායෙන් ඔහුගේ ආත්මය දමනය වෙයි.

කියඹුවැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිහිලසින්

ඔහු තම සුන්දරියගේ උණුසුමකට වඩා සිසිලසක් දකියි. විවිධාකාරවූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් දැවෙන ඔහුගේ ආත්මය නිවා දැමීමට ඒ සිසිල සමත් ය. ඒ ආදර සිසිලසින් ඔහුගේ ආත්මය ම දෝවනය වේ. ප්‍රේමය නම් මේ හැර වෙන කුමක්ද?

කුලරත්න ආරියවංශ නම් වූ පද රචකයා තම තේමාවට උචිත වූ සුගම බස්වහරක් මුළු නිර්මාණය පුරා ම භාවිතා කරනු ලබයි. නළලත පතිතවන කෙහෙරැල් අර්ථවත් කිරීමට රචකයා යොදාගන්නා “කියඹු වැල්” යන යෙදුම ප්‍රශස්ත ය. රචකයාගේ සෞන්දර්යාත්මක හැඟීම් මේ නිර්මාණය ඔස්සේ කැඩපතකින් මෙන් ප්‍රදර්ශනය වේ.

මේ ගීතයට අවසාන සාධාරණය ඉෂ්ට වන්නේ පණ්ඩිත් අමරදේවයන් වෙතිනි. රචකයා හා සංගීතඥයා මවන්නා වූ රාත්‍රිය සහ රමණීය ප්‍රේම ජවනිකා ඒ සුහායනීය හඬින් දෑස් ඉදිරියේ දිගහැරෙයි. සැබැවින් ම එය ආදරණීය කටහඩකි.

නව යොවුන් ප්‍රේමය සිහිනමුවා සෞන්දර්යයකින් යුතුය. එය ඇතැම් විට කටුක යථාර්ථය දැක දැකත් එය මඟහැර මනෝ ලෝකවල සැරිසරයි. එක් අතකින් එය නව යොවුන් ප්‍රේමයට පමණක් සීමා කිරීම අසාධාරණ ය. ප්‍රේමයට වයස් භේදයක් නොමැති ය. එය සුන්දර ය. බොළඳ ය.

පදමාලාවකට සංගීතමය අර්ථයක් සැපයීමේදී කේමදාසයන් ගේ ප්‍රතිභාව විස්මිත ය. වළාකුළු අතරින් සඳ එබිකම් කරන මේ සුන්දර රාත්‍රිය තම ස්වර රටා ඔස්සේ ඔහු අපූර්වත්වයෙන් යුතු ව පාඨක දෑස් ඉදිරියේ සිතුවම් කරයි.

මේ ගීතය වාදනය වෙද්දී මම දෑස් පියාගතිමි. තරුණවිය මගෙන් පළායමින් සිටියි. එහෙත් මේ මෝහණීය රාත්‍රිය මගේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට පටන් ගනියි. සුන්දරියක ගේ කියඹුවැල් මගේ කොපුලේ ගැටෙන්නට පටන්ගනියි. මම හැරී බලමි. සඳ එළියෙන් කාන්තිමත් දෑසක් සහිත ඇය මා ළඟින් වාඩිවී සිටියි. ඇය කුමක් දෝ කියන්නට තැත් කරයි. අහසේ තැනින් තැන වලාකුළු රංචු ගැසී තිබේ.

ඒ වලාකුලකට මුවා වී හඳ අප දෙස හොරෙන් බලා සිටී. එවිට මම තවත් තදින් දෑස පියාගතිමි. සීත සුළඟක් හමා එයි. මම ඇයට තව තවත් තුරුළු වෙමි. එහෙත් ඇය කවුරුන්දැයි මම නොදනිමි.

No comments:

Post a Comment