Wednesday, February 13, 2013

දන මන පිනවා රඟ දක්වාලා

අදින්න පුබ්බක නිවන් දකිත්වා...෴

දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ

යසකිත් රාවේ තුඩ තුඩ විසිරී
සාද තෙපුල් මැද රජ මැති ඇසුරේ
මල් දම් පලදා
සේසත් නංවා
සත් රුවනින් පුද්දේ

සාගිනි දියකර නීරස බොජුනේ
වැරැහැලි දවටා වැහැරුන සිරසේ
තෙමහල් පායේ
බිහි දොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා සීටී

දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ
____________________________
ගී තනු - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ


බොහෝ දාන මාන සිදු කෙරෙන්නේ සුප්‍රකට පූජනීය ස්ථානවලය. ගමේ පන්සලට දනක් නොදෙන දානපතියෝ දළදා මාළිගයට, ජයශි‍්‍රමා බෝධි හාමුදුරුවන්ට, රුවන්වැලි සෑ රඳුන්ට රන් රුවන් දන් දී දාන පාරමිතා පුරති. රුවන්වැලි සෑ රඳුන් සෙවණේ වත් පිළිවෙත් පුරන පල්ලේගම හේමරතන අපේ ලොකු හාමුදුරුවෝ මේ දානපතියන් දෙස වරෙක උපේක්ෂාවෙනුත් වරෙක කරුණා සහගත විරෝධයකිනුත් බැලුම් හෙළති.

දිනක් ජයශ්‍රීමා බෝ රජ සෙවණේ හා රුවන්වැලි සෑ රජ අභිමුවේ සුප්‍රසිද්ධ පිංකම් මාලාවක් පැවැත්විණි.. මුළු අනුරාධපුර පින් බිමම කඩිසර ය. දහවලේ පැවැත්වෙන පින්කමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බොදු ධජ පතාක බැලූ බැලූ අත ලෙළදේ. ඒ අතර එක්තරා ව්‍යාපාරයක වෙළෙඳ ප්‍රවර්ධන දැන්වීම් පුවරු රුවන්වැලි සෑ රදුන්ගේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා මාර්ගයේ ලෙළදෙමින් පවතී. ලොකු හාමුදුරුවන්ගේ දැනුම් දීමකට අනුව එම ව්‍යාපාරයේ කළමනාකරුවකු හෝ පින්කමේ සංවිධායක මහතකු යැයි සිතිය හැකි සුදුවතින් සැරසී සිටි මහතකු හේමරතන හිමියන් අසළට පැමිණ සිටී. හේමරතන ලොකු හාමුදුරුවෝ සුදු වතක් හැඳ සිටි ඒ මහතාට “මේක පූජනීය ස්ථානයක්. ව්‍යාපාර කරන තැනක් නෙවෙයි. වහාම අර දැන්වීම් පුවරු ගලවල දාන්න ඕනැ. මේ දැන්ම. නැත්නම් මමයි ගලවන්නේ.” වචන සැර වැඩි ය. එහෙත් චේතනාවට පෙරටුව ඇත්තේ ද්වේශය නොව මෛත්‍රීය ය. ව්‍යාපාර සමඟ පින්කම් කළ හැකි ය. එහෙත් පින්කම් අස්සේ ව්‍යාපාර බැරිය. එය අරමුණුවලට පටහැනි ය. මේ සිදුවීම දැක්ක මට උන්වහන්සේම ලියු ගීතයක් ඒ මොහොතේ සිහි විය.

“දන මන පිනවා රඟ දක්වාලා
වෙස්සන්තර චරිතේ...
අදින්නපුබ්බක මසුරු සිටාණෝ
බෝසත් දම් පුරතේ...”

ඉහත සිදුවීම සිදුවූයේ දෙදහස් නවය වසරේදී ය. ගීතය ලියැවෙන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ පමණ ය. ඒ දිනවලත් මෙවැනි අරමුණුවලට පටහැනි ලෙස දන් දුන්නෝ සිටියහ. නිරන්තරයෙන් හරසුන් ලෙස දානමාන පවත්වා, ඒ දෙස බලා සිටින්නන් තාවකාලිකව පිනවන දන් දෙන්නෝ රුවන්වැලි සෑය අබියස ද අඩු නැත. ඔවුහු විශාල ලෙස මුදල් වියදම් කරති. කාලය වැය කරති. මහන්සි වෙති. දන් දෙති. අත් නොහරිති. යටි පරමාර්ථ ඉටුකර ගනිති.

තව තවත් සසරට ලොබ කරති. බාහිරට ඒ කිසිවක් නොපෙන්නති. බලා සිටින්නෝ සාධුකාර දී පින් රැස්කර ගනිති. පිටත වෙස්සන්තර ය. ඇතුළත අදින්නපුබ්බක ය. බෞද්ධ සාහිත්‍යයේ කවදාවත් එක් නොවන අන්ත දෙකකි. වෙස්සන්තර රජ දරුවන් පවා දන් දුන්නේය. අදින්නපුබ්බකයෝ දරුවාගේ ලෙඩ -ට පවා බෙහෙත් නොකිරීමට තරම් මසුරු වූහ. සුප්‍රසිද්ධ පින්බිම්වලින් බෝසත්දම් පුරන අදින්නපුබ්බකලා ඕනතරම් හමුවේ. ඔවුන් දන් පින් කර හිස් අතින් ගෙදර යන්නේ බලා සිටින්නන් පිනවීමට කළ ටීටර් නාඩගමක් රඟ දැක්වූ සේ ය.

“කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සැදුනුත් මනරම්
ලාලා අබරණ රිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරු කෝලම්”

(ලෝවැඩ සඟරාව)

හේමරතන අපේ හාමුදුරුවන්ට මේ වැනි බහුරු කෝළම් බලා සිට ඇතිවී ඇත. ඒ දිනවල උන්වහන්සේ අනුරධපුර මහා විහාර පිරිවෙනෙහි ඉගැන්වීම් කරති. ගැමි සුවඳ වහනය වන පරිසරයක ගැමි සුවඳ වහනය වන සද්ධර්ම රත්නාවලිය ඉගැන්වීම කොයිතරම් සොඳුරු ද? ඉගෙන ගන්නා කාලයේ පටන් උගන්වන කාලයේත් සද්ධර්ම රත්නාවලිය කියැවීම පල්ලේගම හේමරතන හිමියන්ගේ පරිකල්පනය අවදි කරන්නකි. මට්ටකුණ්ඩලී කතාව කියවාගෙන යන උන්වහන්සේට මේ සමාජයේ මට්ටකුණ්ඩලීලාත් උන් මඟ හැර දන් දෙන වෙස්සන්තරලාත් මැවි මැවී පෙනෙන්නට විය. විරෝධය දැක්විය යුතු තැන විරෝධය පෑ යුතු ය. ඒ ලිප්ටන් වටරවුමේ බෝඩ් කෑලි එල්ලාගෙන නොවේ ය. උන් වහන්සේ සුපුරුදු අවිය අතට ගත්තේ ය. මුවහත් තෙලිතුඩ පිටුවක් මත සටන නොව සටහන ඇරැඹීය. අවියෙන් කවිය බිහි විය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ වැඩක් නැත.

“යසකිත් රාවේ තුඩ තුඩ විසිරි
සාදු තෙපුල් මැද රජ මැති ඇසුරේ”

කපුගේ ශූරීහු ගයති. මට ජසයාගේ කවිය සිහි විය.

“ගම්වල තැන තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගන්නේ”

ගී නාද මාලාවේ ස්වර පරාසයේ වෙනසක් ඇතත් රිද්ම ලක්ෂණ අතින් හා සමස්තයක් ලෙසින් ගී තනුව මීට සමාන බවක් ඇතැයිදෝ හැඟේ. ජසයා සෝදන්නේ අනුන්ගේ රෙදිය. ඔහු වේදිකාවේ රඟ දක්වන්නේ ද එය ම ය. එහෙත් අදින්නපුබ්බක රඟ දක්වන්නේ වෙස්සන්තර චරිතයයි. ඒ වෙනෙකක් සඳහා නොව

“මල්දම් පලදා සේසත් නංවා
සත්රුවණින් පුද දේ”

මල්තලා පැලඳ පළස මැදින් ආරක්ෂකයන් ද සමඟින් විසිතුරු විදුලි බුබුළු හා ධජ පතාක මැද මගුල් සක් බෙර නාද මැද මහා දානපතියා පැමිණ ආදායම් බද්දෙන් මිදීමට ඉදිකළ මහා තොරන් රාජයා විවෘත කළේය. අසළ බලවතුන් ය. රාත්‍රියේ ඔවුන්ට මධුපානෝත්සවය ය. තන්හා රතී රඟා එහි නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරනු ඇත. අම්බපාලි, සිරිමා ආදීන් ද පැමිණෙනු ඇත. පිනවන ලද බලවතුන් ඇසුර වාසිදායක ය. ඊළඟ කොන්ත්‍රාත්තුව ද මේ දානපතියාට ය. මේ සියල්ල තොරණ පිටුපස ය. සැදැහැතියෝ සාධුකාර දෙති. දානය කදිම ආයෝජනයක් වී ඇත.

“සාගිනි දියකර නීරස බොජුනේ
වැරහැලි දවටා වැහැරුණු සිරුරේ
තෙමහල් පායේ බිහිදොර අයිනේ
මට්ටකුණ්ඩලී බලා හිඳී”

අදින්නපුබ්බකගේ පුතු මට්ටකුණ්ඩලී ය. රන්කරුවකු ලවා මටසිලිටි කුණ්ඩලාභරණයක් සාදා ගැනීමට ලෝභ වූ අදින්නපුබ්බක සිය දරුවාට තමා විසින් ම තලන ලද රන් කැබැල්ලක් කුණ්ඩලාභරණය ලෙස සාදා දෙසවන සැරසී ය. එතැන් සිට දරුවා මට්ටකුණ්ඩලීය. රිසි ලෙස කුසට අහරක් නැත. ලෙඩකට බෙහෙත් නැත. අදින්නපුබ්බකගේ ධනය දිනෙන් දින වැඩි විය. දරුවා මරණාසන්නය. මළ පුතු දැකීමට එන්නෝ ධනය දකීවි ය යන බියෙන් අදින්නපුබ්බක දරුවාව පිළ මත තනි කරයි. අපේ හාමුදුරුවෝ මේ සිදුවීම යාවත්කාලීන කරති.

අදින්නපුබ්බක දනමන පිනවා වෙස්සන්තර චරිතය රඟ දක්වන විට තුන්මහල් ප්‍රාසාදයේ බහිද්වාරය අයිනේ කාටත් නොපෙනී මට්ටකුණ්ඩලී මේ බෝසත් චරිතය රඟ දක්වන පියා දෙස බලා සිටී. දානය ලක්ෂ්‍යගත වී ඇත්තේ එය ලැබිය යුත්තාට නොවේ ය. ලැබිය යුත්තාට දන් දීමෙන් දානපතියාගේ යසකිත් වැඩෙන්නේ නැත. ඒ වෙත මාධ්‍යයේ කැමරා යොමුවන්නේ ද නැත. ආදායම් බද්දෙන් ද නිදහසක් නැත. මට්ටකුණ්ඩලීලා බලා සිටින වීදියේ දානපතියෝ උජාරුවෙන් බෝධියට රන් වැට වැඩම කරවති. පිළිමයට රන් ආලේප කරති. කුසගින්නේ හඬන දරුවන්ගේ අම්මලා සාධුකාර දී සහන ප්‍රාර්ථනා කරති. ගීතය ලියැවී රජරට සේවයේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අතට හේමරතන හිමියෝ ලබා දෙති. ගුණදාස කපුගේ නම් අසහාය ගායකයා සිය මාවතේ ගීතය කැසට්පටයට සූදානම් කළ එක් ගීතයක් ඉවත්කර මේ ගීතය ගායනා කරන්නේය. ඒ කැපකිරීම් මඟින් කළ සමාජගත කිරීමම මහඟු පිනක් යැයි සිතේ.

අදින්නපුබ්බකලාට ද වෙස්සන්තරලා විය හැකිය. බුදු දහම එය පැහැදිලිව සපථ කරයි. අංගුලිමාල රහත් වන්නේය. දෙව්දතුන්ට පවා පසේබුදු විය හැකිලු. පරමාර්ථයන්ට අනුගතව දන් පින් කරන්නෝ දිනෙක නිවන් දකිති. වෙස්සන්තර චරිතය රඟ දක්වා බෝසත් දම් පුරන අදින්නපුබ්බකලා ද මතු දිනෙක නිවන් දකිත්වා!

No comments:

Post a Comment