Wednesday, February 13, 2013

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට

ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට...෴

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...

අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු...
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු

ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී
_________________________
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී තනු - සරත් දසනායක
ගී හඬ - එච්.ආර්. ජෝතිපාල

එච්. ආර්. ජෝතිපාල සමඟ වචනයක් කතා කිරීමේ අවස්ථාවක් මට ලැබී නැත. ඔහු ගී ගයන වේදිකාවල වේදිකාවේ අසලින් ම සිට ඔහු ගී ගයන අයුරු මම බලාසිට ඇත්තෙමි. මා කුඩා අවදියේ මට ඔහු වීරයෙකි.

එහෙත් මා උසස් පෙළ හදාරද්දී මා ඔහු කෙරෙහි දැක්වූ ආකර්ෂණය මඳක් අඩුවිය. මා සරසවි සිසුවකු ව සිටින අවදියේ මම ඔහු ප්‍රතික්‍ෂේප කළෙමි. ඔහුගේ අවමඟුල් උත්සවයට ලක්‍ෂගණන් පොරකමින් සහභාගි වෙද්දී මම බොරැල්ල කනත්තට නොගියෙමි.

එහෙත් මා වයසින් මුහුකුරා යනවිට මම නැවතත් ඔහුට ආදරය කරන්නටත් ගෞරව කරන්නටත් පටන් ගතිමි. එය එසේ වූයේ මිය ගිය ජෝතිපාලයන් ව පමණටත් වඩා ජනමාධ්‍ය විසින් පුම්බනු ලබන නිසා නොවේ. වර්තමානයේ බොහෝ ගායක ගායිකාවන්ගේ රසිකයන් නොදකින කුහකකම් (ඔවුන් ඇසුරු කරද්දී) මට දැනෙන විට ජෝතිපාලයන් ගේ අගය වැඩියෙන් දැනෙන්නට පටන්ගත් බැවිනි.

ජෝතිපාල ගායන ලෝකයේ වීරයෙක් (පොරක්) බවට පත්වන්නේ ගැඹුරු හඬක් සහ ශ්‍රැතියට ගායනා කළ නිසාම නොවේ. ඔහු ජනපි‍්‍රයත්වයට පත්වන ප්‍රථම සාධකය බවට පත්වන්නේ සිංහල සිනමාවයි. ඉඳහිට නගරයට එන ගැමි තරුණයින් පවා චිත්‍රපටි හෙවත් බයස්කෝප් බැලීමට ඇබ්බැහි වන්නට පටන් ගන්නේ හැත්තෑව දශකය ආරම්භයේ පටන් ය. ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග රිදී තිරයේ වීරයන් විය.

මේ වීරයන් ගේ ජවනිකා වෙනුවෙන් පසුබිම් ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාලයන් ය. ඒ වීරයන්ගේ වීරත්වය නැවත නැවතත් තලුමරමින් සිනමා ශාලාවෙන් පිටවෙන ප්‍රේක්‍ෂකයන්, මුමුණමින් ගියේ ජෝතිපාල ගැයූ ගීතයන් ය. ඒ සමඟ ම මේ පොදු ජන රසිකයන්ගේ හදවත්වල කොනක ජෝතිපාල තැන්පත් විය.

මීළඟ සාධකය වන්නේ ජනතාවට හුරු පුරුදු හින්දුස්ථාන් මිහිරි තනු නිර්මාණ වඩා හොඳින් අනුකරණය කිරීමට ජෝතිපාලට තිබූ හැකියාවත් ඒ තනුවල රසය නොනැසෙන ලෙස ගී පද රචනා කළ හැකි රචකයන් එකල සිනමාව පසුපස සිටීමත් ය.

එසේම සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස වැන්නන් ගේ ස්වාධීන තනු නිර්මාණයන්ගෙන් ද සමන්විත සිනමා ගීත ජෝතිපාලයන්ගේ මධුර හඬට නොමඳ සහායක් ලබාදීමත් ය. සිනමා ශාලාව දෙදරා යන ආකාරයේ පිරිමි හඬක් ජෝතිපාලයන් සතුවූ අතර එය නළුවන්ගේ පෞරුෂයට ද ආභරණයක් විය.

ජෝතිගේ ජනපි‍්‍රයත්වයට තුඩු දුන් අනෙක් සාධකය වන්නේ ඔහු හිත හොඳ මිනිසකු වීමයි. වර්තමානයේ බොහෝ ගායකයින්ට නැති නිහතමානී බවක් හා මනුස්සකමක් ඔහු සතු වූ බවට සාක්‍ෂි ඔහු වටා සිටියෝ මට වඩා දනිති. ඔහු ගැයූ සමහර ගීතවල පදමාලා නීරස වුවද මිහිරි තනු හා ගායන පෞරුෂය ඉදිරියේ එම නීරස පදමාලාද රසවත් විය. තත්සර ඇසුර සඳහා තෝරාගෙන ඇති මේ ගීය ජෝතිගේ බොහෝ ගීවලට වඩා සෑම අංශයෙන් ම වෙනස් වූවකි.

මෙහිදී අපට මුණගැසෙන්නේ තරුණියකගේ අතගන්නට බලාපොරොත්තුවෙන් සිටින්නාවූ තරුණයෙකි. ඔහු ජීවිතයේ මෙතෙක් අත්විඳිනු ලැබ ඇත්තේ දුක්බර අත්දැකීම් ය. ඔහුගේ පෙම්වතිය ජීවිතය සැපවත් කරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි. ඒ නිසා තොල් වියළුණ පිපාසයට ඇය දිය පොදකි. උතුරා යන විඩාවට නුගරුකකි.

පැතුම් සුන් ජීවිතය මල් නොපිපුණු තඩාගයකට සමකරන රචකයා ඇය තඩාගයේ මලක් බව පවසයි. ඒ නිසා ඇගේ අගය අදට වඩා හොඳින් දැනෙන්නේ අනාගතයේ දී ය. රචකයා ගේ ගැමි වහර ජෝතිගේ ගායන පෞරුෂය සමඟ මෙහිදී මනාව සංයෝජනය වෙයි.

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...

මේ තරුණයාගේ හා තරුණියගේ ප්‍රේමයට බාධකයන් ද පවතී. ඇතැම්හු තැනින් තැන ඇනුම් පද පවසති. ඒ පිළිබඳ ව පෙම්වතා තුළ ඇත්තේ උපේක්‍ෂා සහගත හැඟීමකි. ඔවුන් ගැන ඕපාදූප කියන අවට සමාජය ඔහුට පෙනේනේ අරුත් සුන් වදන් පවසන ගිරාපෝතකයන් ලෙසිනි.

අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු...

එහෙත් සමාජයෙන් දොස් ඇසීමට තරුණිය තුළ ඇත්තේ බියකි. තම ප්‍රේමය දිග්විජය කිරීමට යාමේදී අවට ලෝකය බාධා කරාවිද යන බියෙන් ඈ තිගැස්සෙයි. එහෙත් ජීවිතය ජයගැනීම පිළිබඳ ධනාත්මක ආකල්පයක් හා ආත්ම විශ්වාසයක් මේ යෞවනයා තුළ පවතී. තම ආත්ම විශ්වාසය ප්‍රදර්ශනය කරන තරුණයා ඇය ව සනසනු ලබයි.

තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු

මේ ගැමි තරුණයා ධනේශ්වර සමාජයේ ඇතැම් තරුණයන් මෙන් රොමැන්ටික් සිහිනයක සැතපෙන්නෙක් නොවේ. ජීවිතය දුෂ්කර බව ඔහු දනී ඔහු ධනේශ්වර සමාජයේ කුහක ආකල්ප ඉදිරියේ නොසැලී ජීවිතයේ අරුණලු දැකීමට ප්‍රාර්ථනා කරයි. ජීවිතයේ දුෂ්කරත්වය වටහාගත් ඔහුට ඒ දුෂ්කර බව ජය ගැනීමේ වෙර වීරිය ලැබෙන්නේ තම පි‍්‍රයාවියගේ මුදු මොළොක් වදන් හේතුවෙනි. දුක් කරදර අතරින් සැනසුම පෙරා දීමට ඒ සෙනෙහස සමත් ය.

ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...

ඔහුගේ පෙම්වතිය ද සුරංගනා ලොවක ජීවත් වන්නියක නොවේ. ඔහුගේ දිවිමඟ ඈ නිසා සුවඳවත් වෙයි. ඇය ද භෞතික සැප සම්පත් හඹා නොයන්නියකි. සිව්සැට අබරණින් කසී සළු වලින් ගාන්ධාර විලවුන් වලින් නොසැරසුණ ද ඈ රූමතියකි. වැඩවසම් සමාජයක අල්පේච්ඡ ජීවිතයක් ජය ගැනීමට අවශ්‍ය සියලු ම පසු බිම ඈ තුළ පවතී.

සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී

ජෝතිපාලයන්ගේ හඬ පෞරුෂය නම්‍යශීලී වූවකි. බටහිර සංගීතයට ද හින්දුස්ථාන් සංගීතයට ද ගැමි සංගීතයට එය නම්‍යශීලී වෙයි. ඔහුගේ හඬ දාර්ශනික හඬක් නොවේ. ඒ නිසා එය වඩාත් බද්ධ වන්නේ පාණ්ඩිත්‍යයෙන් නොපිරි සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කරනු පිණිසයි.

අමරදේවයන් ගේ, වික්ටර් රත්නායකයන්ගේ වැනි බුද්ධිය හා සාමය එක්තැන් කරන හඬක් ඔහුට නොමැත. එහෙත් හොඳ පපුවක් ඇති නාගරිකයකු මෙන්ම එඩිතර ගැමියකු ඔහු ගේ හඬ තුªළින් ඉස්මතු වෙයි. එම නිසා ම ඔහුගේ හඬ නිර්ලෝභී ව මෙන් ම නිර්ව්‍යාජ ව ඒක රාශී වූයේ එබඳු රසික පිරිසකි.

සිංහල සිනමාවේ වාසනාවට ජෝති උපන්නාක් මෙන් ම ජෝතිගේ වාසනාවට හින්දි තනුවලට සැබෑ ජීවයක් දිය හැකි ගීත රචකයන් මෙන්ම ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් ද එකල හිඟ නොවිණි. ඔවුන්ගේ පිහිට ජෝතිට ලැබුණු අතර ජෝති ගේ පිහිට ඔවුන්ට ලැබිණි.

මා මෙහිදී ජෝති ගැන වැඩි වැඩියෙන් සඳහන් කළේ, ඔහු අධ්‍යයනය කළ යුතු සමාජ විද්‍යාත්මක චරිතයක් බැවිනි. ඔහු තමාට ආදරය නොකොට අනුන්ට ආදරය කළ මිනිසෙකි. සාමාන්‍ය මිනිසකු සේ ජනතාව අතර සැරි සැරූ චරිතයකි. ඔහුව අනුකරණය කිරීම කිසිවකුට කළ නොහැකි ය. ඔහු අනුහස් සහිත මිනිසෙකි. ඒ නිසා ම ගීතයට වඩා ඔහු ගැන සඳහන් කිරීම ගැන ඔබ මට සමාව දෙනු ඇතැයි මම සිතමි. ඔහු ගීතය නැමැති වියළුණු තඩාගයක මල් පුබුදවීය. ජෝතිපාල ගැයූ නිසා ම ජනපි‍්‍රය වූ ගීත ද විශාල ප්‍රමාණයක් පවතී.

"පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගය කරයි හෙට අදටත් වඩා රට”

No comments:

Post a Comment