Wednesday, February 13, 2013

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි

ජීවිතයම සිහිනයක්...෴

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි//

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිෙඳනවා
නුග ගස් පෙල අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එපිට පෙනෙනවා
ඔබත් එක්ක ආයෙම එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකියි කියා සිතෙනවා
_______________________
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගායනය - මර්වින් පෙරේරා

ලෝකය විශ්ව ගම්මානයක් යැයි කියැවෙන විට රටක් රාජ්‍යයක් යනු ඊටත් වඩා සමීපස්ථ දෙයකි. නගර කීවාම තවත් දස දහස් ගුණයකින් සමීපස්ථ වෙයි.

එහෙත් ප්‍රේමවන්තයන්ගේ කතන්දරවලදී එය එසේ වන්නේ නැත. ඒ නගරාන්තර දුරස්ථභාවය මනින්ට මිණුම් ඇත්තේත් නැත. ඔබ පැමිණියේ ඒ නගරයේ සිටය. මා පැමිණියේ තවත් නගරයක සිටය. අප හමුවූයේ මේ නගරයේදී ය.

මේ නගරයට අපට එන්නට සිදුවුණේ ඇත්තටම අපට හමුවන්නට යෙදී තිබුණු නිසා වන්න ඇත. ඒ හමුවීමේ සතුට දුකකින් කෙළවර කර අපට විඳවන්නට සිදුවීම අනිවාර්ය කර තිබූ නිසා වෙන්නට ඇත. කොහොම වුණත් වෙන කිසිම නගරයකට වඩා මේ නගරය අපට වැදගත් ය. ඒ, අප හමුවූයේ මේ නගරයේදී නිසා ය. අප වෙන් වූයේ ද මේ නගරයේදී නිසා ය.

නගරය වූ කලි ජීවිතයේ බොහෝ සුඛාන්ත හා දුඞඛාන්ත රඟ දැක්වෙන මහා වේදිකාවකි. ඒ වෙත එළැඹි මිනිසාට ජීවිතයේ සියලු සංසිද්ධීන් හට සම සිතින් මුහුණ දීමට සිදු වෙයි. අවුල්, තැවුල්, සෝක, සංතාප මෙන් ම ප්‍රමෝදය ද සහිත මනුෂ්‍යත්වයේ විචිත්‍රත්වය නිරූපණය කිරිමට ඔහුට සිදු වෙයි.

සන්තුෂ්ටියෙහි මෙන් ම ඛේදයෙහි තතුව ද මේ නගරය නම් ජීවන වේදිකාවෙහි පියවරෙන් පියවර රංගගත වෙයි.

මෙකී රංග භූමියට පිවිස සිය දිවියෙහි ජවනිකා කිහිපයක් හොබවා නිම කළ පුද්ගලයකු ගේ සංවේදනා නිරූපිත ගීතයක් මෙවර අප ගේ විමැසුමට හසු වෙයි.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රමුඛ ප්‍රතිභා සම්පන්න ගීත නිබන්ධක කලාකරුවා විසින් නිමැවුණු මේ පැබැඳුම මර්වින් පෙරේරා නම් අද්විතීය ගායනවේදියා ගේ මධුර ස්වරයෙන් හා සංගීතයෙන් ශ්‍රවණා රමණීය අත්දැකීමක් බවට පත් ව මේ වන විට පන්තිස් වසරකට වැඩි කාලයක් ගෙවී ඇත.

කීර්තිශේෂ භාවෝපගත මේ විශිෂ්ට කලාකරුවන් දෙදෙන ගෞරවෝපහාර පූර්වක ව අනුස්මරණය කරමින් ම දැන් අපි ‘මේ නගරය’ වෙත එළැඹෙමු.

දිගු කාලයක් මුළුල්ලේ අප ගේ ජීවිත කාර්යයන් ද, ගැළැපෙන ජීවන මාර්ග ද, අවස්ථා ද, අනෙක මුදුන් පමුණුවා ගැනීම් ද නගර හා සම්බන්ධ ව පවතී. අප ගේ හැඟීම්, වැටීම්, ගැටීම්, හමුවීම්, වෙන්වීම් යනාදි විවිධ අවස්ථා නගර හා සබැඳි ව පවතී. මේ ගීතය ඇසුරෙහි පෙනී සිට අප හා සම්භාෂණයෙක යෙදෙන කථකයා තුළ මේ නගරය හා සමඟ ඇත්තේ ප්‍රබල භාවික සම්බන්ධයෙකි.

ඔහුට මේ නගරයෙහි විශේෂත්වය අන් සියලු භෞතික සබඳතා මඟින් දැනැවෙන්නක් නො ව, ඇය මුණ ගැසුණු, වෙන්වුණු ස්ථානය වීමෙන් ම දැනෙන්නකි. එ සේ ම තමා නොදන්නා ඈතෙක නන්නාඳුනන ලෝකයා අතර සැඟැව ගිය ඇය තවමත් ඔහුට තමා අභිමුඛයෙහි සිටින පුද්ගලයකු වැන්න. ‘ඔබ’ යනුවෙන් කථකයා ඇය අමතන්නේ එබැවිනි.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරය යි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි

මේ නම් කථකයා ගේ ආභ්‍යන්තරික ලෝකයෙහි වන ගැඹුරු සැමැරුම් සහගත ප්‍රදේශයෙකි. එහි සියලු තුරුවියන්, වන උයන්, වීථි මං ඒ සැමැරුම් යළි යළි ආවර්ජනයට කථකයාට පෙලැඹුම් කරන අංග ප්‍රත්‍යංගයෝ වෙත්. ඇය හමුවීම හා වෙන්වීම අතර ගෙවුණු කාලය ඇසුරෙහි වන සියලු ස්මරණයෙන් කථකයා තුළ යළි බලපවත්වන මොහොතයි මේ.

තවමත් මේ නගරයෙහි වැව අද්දරින් දිවෙන මාවතෙහි ඔහේ නිස්කාංසුවේ ඇවිද යා හැකි ය. මහා විද්‍යා තාක්ෂණ ආධිපත්‍යයේ ආඥා චක්‍රය බලපවත්වන තැනෙක් නො වේ දැනුදු මේ නගරය. තනි හුදෙකලා මිනිසා ක්‍ෂුද්‍ර ජීවියකු බවට පත් කොට උරා ගන්නා මහා යන්ත්‍ර, කම්හල්, වැඩබිම්, කොම්පියුටර් හස්තීන් තවමත් කථකයා ගෙන් දුර ඈත ය. ඔහුට තවමත් සිය ගෙවුණු ඉමිහිරි ම සමය මෙනෙහි කරමින් සිය බිරිය ද, පුතු ද සමඟ යා හැකි නුවරෙකි මේ. ඇය එදා පළමු ව හමු වූ තැන, දෙඩූ වදන්, ඇගේ සුසුමෙක උණුසුම මේ මොහොතෙහි පවා සිහිකළ හැකි පරිසරය තව ම මෙහි පවතී.

එදා නගරයෙහි සිය ප්‍රේමණීය සමයට පසුබිම් ව පැවැති දෘශ්‍ය සංකේත දැනුදු පෙර සේ ම නැරැඹිය හැකි ය. රසිකත්වයෙන් තොර ගෙවී ගිය මිනිසුන් අතර වුව, තවමත් හෙතෙම තම නුවරෙහි ම භාව භාෂණයෙක යෙදෙන්නෙකි.

වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳු රැල්ලෙන්
එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා

වැව් ඉවුරෙහි හැපී බිඳෙන දිය රළ පතර, පෙර සේ ම යෙදෙනුයේ අක්මුල් නැති චලනයෙක ය. එහෙත් ඒ එදා දිය රළ නො වේ. එදා රළ ලතාවෙහි රුව පමණි එහි ඇත්තේ. පැරැණි දියවර අභාවයට යවමින් පැමිණි, අපමණ ජල තරඟ පරම්පරාවෙක මේ මොහොතේ ප්‍රාදුර්භූතය අතීත ලකුණෙන් තොර නො වේ. එය පෙර පවත් යළි අභිනව වේශයෙන් සිහියට කැඳවයි.

පෙර හුරු පුරුදු නුග ගස් පෙළ, අද ඔවුන් නැති ව ද නව දළු ලමින් හිඳිනු කථකයා දකියි. කිසිවකු නැති ව වුව ද සොබාදහමෙහි සැටිය එලෙස ය. සොබාදහම පවා සිය ආදරය හමුවේ ඊට අනුගත ව යනු ඇතැ යි ඔවුන් සිතා සිටි යුගයක් විය හැකි ය ඒ.

එහෙත් එය භ්‍රාන්තියක් පමණි. ඔවුන් නැති ව ද පැරැණි පත් සලා නව දළු ලමින් නුග ගස් පෙළ අනාගතයට සැරැසෙයි. ඇය වෙන් විණැ යි, අද කථකය වුව හුදෙකලාවෙහි නො වේ. බිරියක් හා පුතෙක් අද ඔහු සමඟ වෙති. ඇය ද වෙනකකු සමඟ නව දිවියක බැඳී සිටිනු විය හැකි ය.

කඳුරැල්ලෙන් එතෙර පෙනෙන සරසවි බිමේ දසුන, තව ම මතකයෙහි ශේෂ ව පවත්නා, ඔවුනට ම ඇරුණු සිහින ලොවකි. එය ඇසට හමුවන කල නිතැතින් ම ඔහු තුළ හැඟීමක් පහළ වෙයි.

’ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා’

ගෙවුණු සරසවි සමය ද, පැවැති සියලු සබඳතා ද, ඒවායේ තාවකාලික ප්‍රවර්තන ස්වභාවය ද ක්‍ෂණික ව දැනැවීමට සමත් මේ පද සංඝටනාව අප තුළ ප්‍රබල අනුවේදනයක් ඇති කරයි. දෘශ්‍ය රූප කිහිපයක් මඟින් අත්විඳීම තියුණු වේදිතයක් ලෙස අප තුළ දැනැවෙයි. මේ සඳහා රචකයා විශේෂ භාෂාවක් භාවිත නො කරයි. තව ද රචකයා ඉදිරිපත් ව කරන අනවශ්‍ය විවරණ කිසිවක් ද ප්‍රබන්ධයෙහි හමු නො වේ.

සුනරුත් පැතුමක් වූ අතීත ප්‍රේමය පිළිබඳ සියුම් භාවයන් ජනිත කරන සංක්‍ෂ්ප රූපී උක්තීන් කිහිපයෙකි ප්‍රේමකීර්ති නිමවන්නේ. කථකයා තුළ එකී භාවයන් ජනිත වන්නේ අස්ථානයෙහි නොවේ. වෛෂයික ලෝකය අරමුණු කොට ගැනීමෙනි. මේ සංවේදනය සිදු වන්නේ නගරයේ ඔවුන් ගේ පෙර ඇසුර සිහි ගන්වන වස්තූන් දැකීමෙනි. අතීතය වෙත එ සේ යළි සිහි එළවා පිවිසීමෙන් අවසන, කථකයා යමක් ප්‍රත්‍යක්‍ෂ කරනු ද මේ නිමැවුමෙන් හඳුනා ගත හැකි වේ. එහෙත් ගීතය කථකයා ගේ නිගමනය අප වෙත පැවරීමක් නො වේ.

ගායන සුඛ යැයි වර්ග කළ හැකි දිලිසෙන ඔප මට්ටම් සහිත තෝරා ගත් වදන් කිසිවකින්, මෙමඟින් ධ්වනිත වන සියුම් අනුවේදනය ග්‍රහණය කළ නො හැකි ය. පෙර සේ ම බිඳෙන වැව් දිය රළ ද, නව දළු ලන නුග ගස් පෙළ ද, ඈත පෙනෙන සරසවි බිම ද මඟින් ප්‍රේමකීර්ති කවියා සංයෝගය හා වියෝගය පිළිබඳ දහම තියුණු ව අඟවයි. මේ ප්‍රබන්ධය, එහි වාච්‍යයෙන් නැඟෙන අරුත ඉක්මවා අතීතය, මේ මොහොත, පැවැත්ම ජීවිතය, යථාර්ථය යනාදි බොහෝ ප්‍රදේශ ක්‍ෂණික ව සිතට හසු කරන අයුරක් හැඟෙයි.

ඔබ අත ගෙන ගිය වීදියෙ ඇය හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතය ම සිහිනයකැ යි කියා හිතෙනවා

එදා ඇය හා ඇවිද ගිය වීදියෙහි අද සිය පියඹ සමඟ යන ඔහු අතැඟිල්ලක එල්ලී එන කුඩා පුතෙකි. එදා නිදැල්ලේ ඇය හා ඇවිද ගිය පෙම්වතා අද බිරියක හා දරුවකු සමඟ, පවුල් බැම්මෙන් බැඳුණු බැඳුම් ඇත්තෙකි. එහෙත් එදා පැතූ පැතුම්වල වූයේ මේ පි‍්‍රයාව නො වේ. එදා පැතුම් මන්දිර තැනුවේ ද මැය සමඟ නො වේ. ඇය සමඟ පැතූ ජීවිතය වෙනුවට අද වෙන අඟනක ගේ මූලිකත්වයෙන් ගෘහය ගොඩනැංවී ඇත.

ඇය අත ගෙන ගිය වීදියෙහි පෙර ඇසුර සිහි වුව ද, සිහිවීම හැරෙන්නට අන් කිසි ආලම්බනයක් ඔහු තුළ නො වේ. එදා පැතුම් සිහිවනු මිස ඒවා සමඟ යළි ක්‍රියාත්මක වීමේ ශක්තියක් හෝ අවශ්‍යතාවක් ද ඔහු කෙරේ නො වේ. ඒ පැතුම්, සැමැරුම් සියල්ල අද සිහින ලොවට පමණක් පොදු වූ සංකල්ප මාත්‍රයෝ වෙත්.

මේ වනාහි ජීවිතයේ සැබෑ විධිය යි. අපට රිසි පරිදි රඳවා ගත හැකි සියලු යහපත ඊට අදාළ නො වේ. සිහින ද මෙබඳු ය. ඒවා ද අපට රිසි පරිදි හැඩ ගන්වා නැරැඹිය හැකි දේ නො වේ. අපට අභිමත පරිදි ග්‍රහණය කළ හැකි දේ නො වේ.

යටගියාව සමඟ වන ඇලීම් ස්වභාවයක් කථකයා ගේ සිතෙහි බලපවත්වන නමුදු එය දැඩි අනුරාගී ග්‍රහණයක් නො වේ. හෙතෙම ගිය කල මෙනෙහි කළ ද එය ලුහුබඳින්නෙක් නො වේ; එය පණ ගන්වන්නෙක් නො වේ; පසුතැවෙන්නෙක් ද නො වේ. ඇය හා සමඟ ගෙවුණු එදවස සැමැරුම් එළැඹ සිටි සිහියෙන් ආවර්ජනා කරන දැමුණු මිනිසෙකි මේ.

‘ජීවිතය ම සිහිනයෙකැ’යි කියා ඔහුට මෙනෙහි වන්නේ ජීවිතය හා ලෝක ස්වභාවය පිළිබඳ ස්වකීය වූ වටහා ගැනීමේ ඵල වශයෙනි. ජීවිතයෙහි සමුච්චිත අරුත කිමැ යි මොහොතක් සිතන්නට අනුබල දෙන ස්වභාවයක් ද මේ ගීතය ඇසුරෙහි වෙතැ යි සිතමි.

මින් පස් වසරකට පමණ පෙරාතුව මේ ගීතය පිළිබඳ ව ‘පුන් කලස’ නිමැවුම් විමැසුම් විශේෂාංගය වෙනුවෙන් කළ කතාබහක දී, අප මිත්‍ර දයා ඩී. ෆොන්සේකා සමඟ ගායන ශිල්පි මර්වින් පෙරේරා පැවැසූ කරුණක් මෙහි දී සිහිපත් කළ මනා ය.

ඔහු පැවැසුවේ එකල මෙබඳු හොඳ ගීත රචනා කිරීමටත් හොඳ නිර්මාණාත්මක සංගීත භාවිතයකට පෙලැඹීමටත් අවශ්‍ය පසුබිම පැවැතුණු බව යි.

”හොඳ නිර්මාණ බිහි වෙන්න, නිර්මාණකරුවා දිවි ගෙවන සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිම යහපත් වෙන්න ඕන” (2007 ජූලි 15 දා පුන්කලස)

රජයේ සංගීත විද්‍යාලයයෙන් රාගධාරී සංගීතය හදාළ ද, මර්වින් පෙරේරාණන් ගේ තනු නිර්මාණ කිසිවක් එකී සංගීත සම්ප්‍රදායය මුල් කොට බිහි නො විණි. ඒවායේ බටහිර ගතිය ඉස්මතු වුව ද, ඒවා බටහිර සංගීතය මුළුමනින් ම යොදා කැරුණු නිර්මාණ ද නො වී ය. සංගීත නිර්මාණයේ දී හෙතෙම තමාට ම අභිමත ක්‍රමයක් ගුරු කොට ගත්තේ ය.

මේ ගීතයේ ද ඒ ඔහුට ම අනන්‍ය වූ ලක්‍ෂණය විද්‍යාමන වෙයි. ජල තරංග වාදනයෙහි නැගෙන හඬ අප සංගීතවේදියා මේ ගීතයේ දී භාවිත කෙළේ කථකයා ගේ මනැසේ පවතී යැයි ඔහු හඳුනාගත් ගුප්ත ස්වභාවය ඇඟැවීමට ය. කථකයා ගේ අතීතයට නැඹුරු රහස් ස්වභාවය ගායන විලාසයෙන් ද තීව්‍ර කිරීමට ගායනවේදියා ප්‍රයත්න දරා ඇත.

ශරීරයේ කුණ්‍ය කොටස් හැරෙන්නට අන් සියල්ල විකිණීමේ උද්‍යෝගී වෙළෙඳ සන්නිවේදනයේ යෙදෙන ඇතැම් විපරීත විද්‍යුත් නාලිකා විසින්, ගීත ලෙස ඔසවා තැබෙන සින්දු ප්‍රහාරයන් අතර, දශක හතරකට ළං වෙමින් වුව ද තවමත් මෙබඳු ගී සියලු තරාතිරම්වල ශ්‍රාවක ජනයා ගේ රස මනැස පොහොණි කරමින් පැවැතීම අප කාගේත් භාග්‍යයෙකැ යි අවසන් වශයෙන් සඳහන් කරමි.

No comments:

Post a Comment