Wednesday, February 13, 2013

Sithum pethum podi

ඇය ගිය වග සරණෙක බැඳිලා෴

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ.....
ආයාසයකිනි කියන්න බැරි තරමේ

නිලුපුල් දෙනුවන් දැක ගන්න යි
සුවඳැල් මුහුළස සිප ගන්න යි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්න යි
සිහිලැල් වදනින් සැනසෙන්න යි

ලිය ගොමු වියළී මල් පර වී
අතු කොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා
___________________
හඬ - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනු - එම්.කේ. රොක්සාමි

අපි සියල්ලෝ ජීවිතයේ කවර හෝ සමයෙක ප්‍රේමයේ ඉමිහිරි පැතුම් සහගත ව, සිත ඇදී ගිය යම් තැනක් වෙත ගමනෙක යෙදුණේ නො වෙමු ද? බොහෝ විට අප යෙදුණු මෙබඳු ගමන්, වරෙක ජීවිතයේ මහත් වෙනස්කම් සඳහා හේතු පාදක නොවිණි ද? ඇතැම් ගමන්වල අවසානය සුඛාස්වාදයට ඇල්මෙන් වූ සිරගතවීම් ය.

ඇතැම් ගමනාන්තයන්හි වූයේ අපේක්‍ෂාභංගත්වය ය. ගැඹුරු ම සංතෘප්තිය අප වෙත ගෙන ඒම ආදරයේ පරම ස්වභාවය යැයි අප කල්පනා කළ යුගයක් ද විය.

එහෙත් එය බෙහෙවින් ගෙන එන්නේ පීඩාව හා අතෘප්තිය පමණ කැ යි යන්න ධ්වනිත කරනා ගීතයක් මෙවර අප ගේ රස විනිසට හසු වෙයි.

මිල්ටන් මල්ලවාරච්චි නම් සදානුස්මරණීය ගායනවේදියා ගේ හඬින්, මින් පුරා දශක තුනකටත් එපිට කලෙක ගැයුණු මේ ගීතය, අද ද අරුත්සරු නවමු මිහිරක් දනවතැ යි පවසනු කවර වරද ද?

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ

සිය හද ගත් යෞවනිය සමඟ ප්‍රමෝදයෙන් ගත කරනු පිණිස කථකයා ඇයගේ නිවෙස අබියසට එළැඹ සිටියි. මේ වූ කලි ඇය හා බැඳුණු ආදරය ඇසුරු කොට හට ගත් අනේක සිහින සිතිවිලි හා ප්‍රාර්ථනා පොදි බැඳ පැමිණි ගමනෙකි.

ඒ ආදරයේ සිතුම් පැතුම් පොදිවල බර දරා ඔහු පැමිණ ඇත්තේ කිය නොහැකි තරමේ විඩාවෙකිනි.

කථකයා ගේ මේ සම්ප්‍රාප්තිය මඳ කලෙක නිහැඩියාවෙකින් පසු ව සිදුවූවෙකැ යි හැඟේ. යම් දුර පෙදෙසක සිට ඇගේ සෙවණ වෙත පැමිණි මේ ගමන, මින් පෙර ද වරින් වර සිදු විය.

ගමනාන්තය වන තුරු, පෙර ඈ ඇසුරෙහි විඳි විඳුම්, බිණූ තෙපුල් සහිත ප්‍රේමාන්විත ලෝකයක් මැවී තිබිණි.

අභිනව සිතුම් පැතුම් සමුදායයක් සිත්හි පොදි බැඳී, ඒවා ගමනෙහිදී ඔහු තුළ වෙහෙස දැනැවී ය. එකී සිතුම් පැතුම් පොදි එසැණින් ඇය හමුවේ එකිනෙක නිදහස් කිරීමේ අපේක්‍ෂාව ය ඔහු තුළ වැඩුණේ.

නිලුපුල් දෙනුවන් දැක ගන්න යි
සුවඳැල් මුහුළස සිප ගන්න යි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්න යි
සිහිලැල් වදනින් සැනසෙන්න යි

ඕ තොමෝ නිලුපුල් දෙනුවන් ඇත්තියකි. නිල් මහනෙල් සම ඒ නෙත්වල මහිමය වහා දැක ගැනීම ද, සිත පොබ කරන සුවඳින් සිහිල් කළ වරලස සිප ගැනීම ද ඔහු ගේ පැතුම් අතර වෙයි.

පෙර සේ ම ඒ මුහුළසෙහි මුදු කැරැලි සිය සුළැඟිල්ලෙහි ගවසා ලෙළවීමේ ඇල්ම ඔහු තුළ පණ පෙවෙයි. ඇය ගේ බොහෝ සිහිලැති වදන් හමුවේ සැනැසුම අත්විඳීමේ සිත ඔහු තුළ බල පවත්වයි.

ආදරයෙන් පිරුණු දැමුණු සිතකින් මිස, පෙම්වතිය ගේ සිරුර පිළිබඳ අනුරතියකින් පෙලැඹී ආ ගමනක් නො වේ මේ. නීල උත්පල නුවන් දැකීම හෝ මුදු සුවඳින් සිහිල ගැන්වූ මුහුළස සිප ගැනීමේ ඇති කැමැත්ත අනුරාගය මුල් කොට ගත්තක් නො වේ.

කාමුකත්වයේ අවශ්‍යතාව විසින් මෙහෙයවනු ලැබූවකු නො ව, ඇය හා සමාගමයෙන් උපදින පී‍්‍රති ප්‍රමෝදය අපේක්‍ෂාවෙන් පැමිණියෙකි මේ. එහෙත් අනතුරු ව ඔහු හට අත්විඳීමට සිදු වන්නේ මෙතෙක් වූ ප්‍රේමයේ පැතුම් සහගත ලොව දැදුරු කරවන දසුන් පෙළකි.

ලිය ගොමු වියළී මල් පර වී
අතු කොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා

කථකයා තමා සපැමිණි ගමනෙහි අවසනැ අනපේක්‍ෂිත අත්දැකීමකට මුහුණ දෙයි. එය මෙතෙක් සිතින් දරා ආ පැතුම් සියල්ල සුනරුත් බවට පෙරැළූ අත්දැකීමෙකි. ජීවිතය නම් වන සමස්ත චාරිකාවෙහි ස්වභාවය වරෙක මෙපරිදි යැයි අඟවන්නකි.

ඈ විසූ නිවෙස හාත්පස ලිය ගොමු වියැළී ගොසිනි. ඇය ගේ ඇසුරෙන් වියෝ වූ මල් පර වී අතු පත් කෘෂ ව බිම වැතිර සිටී. මේ දසුන් හමුවේ කථකයා අත්විඳින කම්පාව අප ගේ මනැසට හැඟෙයි. ඇය සරණෙක බැඳී ගිය බව රහසින් දන්වනුයේ අසල්වැසියකු විය හැකි ය.

‘කවුද කියයි මට කොඳුරාලා’ යන්නෙන් එසේ පවසන්නා ගැන පවා නිශ්චිත හැඟීමක් තමා කෙරේ නොවන තරමට ක්‍ෂණික තිගැස්මකට කථකයා පත් වූ බව ගම්‍යමාන වෙයි.

ලිය ගොමු වියළී, අතු කොළ වැහැරී යනාදි උක්තීහු සෙනෙහස, සෙවණ, සිහිලස, සමෘද්ධ බව ක්‍ෂය ව ගිය බව අඟවති. ‘මල් පරවී’ යන්න සිය ප්‍රාර්ථනා විසුනු වී ඇති බව අඟවනු ද සමත් වේ.

ඇය ඔහු කෙරේ සමීප සබඳතාවකින් සිටියේ නම්, රහසේ ම ඔහු හැර අන් සරණෙක බැඳී ගියේ කිම? ඔහු ඇය හමුවට පැමිණියේ ඈ හා අතිනත ගැනීමේ පැතුමෙන් ද? ඇය කවරකු සමඟ, කොතැන, කා ගේ පෙලඹුමෙකින් මෙ සේ ඔහුට පිටු පා සරණෙක බැඳුණේද යනු විසින් පැන නැඟෙන බොහෝ ප්‍රශ්න හමුවේ ශ්‍රාවක රසිකයන් වන අපට ම පිළිතුරු සපයා ගැනීමට සිදු වෙයි.

ප්‍රබන්ධක කරුණාරත්න අබේසේකර සූරීහු සිය රචනයට අත්‍යවශ්‍ය ම, ප්‍රමුඛ ම අවස්ථා කවරේ දැ යි විමසා, අන් සියලු අප්‍රයෝජනවත් තතු බැහැරලයි. සිය ගීත රචනා කාර්යයෙහි දී පෙර අනුදත් වචන මඟින් යමක් පැවැසීමට වඩා, අර්ථවත් උක්ති මාර්ගයකට අබේසේකරයන් මෙ සේ ප්‍රවේශ වූයේ 70 දශකයෙහි ය.

එවක ඔහු ලියූ මේ ගීතය හුදු අදහස් ම පවසන වදන් මාලාවක් නො වේ. පද සංඝටනාවෙන් යම් රූපාවලියක් මතුවෙමින් සංවේදනා හට ගන්වන පැබැඳුමෙකි.

ප්‍රබන්ධකයා අපේක්‍ෂිත මුඛ්‍ය අවස්ථාව ම නාභිගත කරන්නකු මිස, අනවශ්‍ය පසුබිම් විස්තර සොයා වාර්තා කරන්නෙක් නො වේ. හෙතෙම ඉන්ද්‍රිය ගෝචර වාක් සිත්තම් නිමවන්නෙකි.

"සුවඳැල් මුහුළස සිප ගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි",

යනාදි දැනැවුම් අප තුළ අවස්ථෝචිත දර්ශන මවයි. කිසියම් නිරූපණයක් ගීතයේ හැම පාදයකින් ම සිදු වෙයි.

"ලිය ගොමු වියළී මල් පර වී
අතු කොළ වැහැරී බිම වැටිලා"

යනාදී චිත්ත රූපික යෙදුම් අතිශය ඉන්ද්‍රිය ගෝචර යි. නිරූපිත අවස්ථාව සිනමා රූපාවලියක දසුන් සේ මනැසෙහි ඇදී යයි. එමඟින් ගීතයේ අත්විඳීමෙහි වන සංවේදනය අප තුළ ප්‍රබල ධාරණාවක් ඇති කරයි. ඇය සරණෙක බැඳී ගිය බව රහසේ පවසන්නකු ගේ දර්ශන මාත්‍රය ද මෙහි දී සිත්හි ඇදෙයි.

සිය සංකල්පනය රූපික ස්වභාවයකට ගෙන ඒමට කවියාට ඇති වගකීමෙන් මඳක් හෝ ගීත ප්‍රබන්ධකයාට ද ඇත. සිය වේදිතය පළ කරනු සමඟ ම ඊට යම් යම් අර්ථ විවරණ සැපැයීමට කවියකුට නොලැබෙන අයිතිය, ගීත නිබන්ධකයාට ද පොදු අයිතියකි.

කථකයා මුහුණ දුන් අවස්ථාව අප ඉදිරියේ මවා හැර රචකයා ඉවත් වෙයි. අනතුරු ව එය අපි අප ගේ භාව පථයට සුදුසු සේ තෝරා බේරා ගෙන, අපට ද අනන්‍යසාධාරණ ධර්මතා එමඟින් වටහා ගනිමු.

ගීතයේ දෙවන භාගයෙහි එන නිලුපුල්, සුවඳැල්, සුළැඟිල්ලෙන්, ලෙළවන්නයි, සිහිලැල් යනාදි වදන් අනුපිළිවෙළින් නඟන අනුප්‍රාසය ද, ලිය ගොමු වියළී මල් පර වී, අතු කොළ වැහැරී යනාදි ව්‍යඤ්ජක ද රචනාවෙහි ශබ්ද හා අර්ථ මාධුර්යයට මෙහෙ කරයි. සුකුමාරත්වය වඩාලයි.

මෙරට විසූ විශිෂ්ට වයලීන වාදන ශිල්පියකු හා ප්‍රමුඛ සංගීතඥයකු ද වූ දිවංගත එම්.කේ. රොක්සාමි විසින් නිමැවුණු මේ ගීතයේ තනුව හා නාදාත්මක පරිසරය කථකයා ගේ ගමන, අපේක්‍ෂා හා අපේක්‍ෂාභංගත්වය ධ්වනිත කරයි.

‘කවුද කියයි මට කොඳුරාලා’ යනුවෙන් ගැයෙන කල සියුම් ශෝකාවහ ස්වභාවයක් ද ඉස්මතු වෙයි. ප්‍රබන්ධයේ වස්තු විෂයයට අනුයන සංගීතාත්මක පරිකල්පනයක් එම්.කේ. රොක්සාමි සංගීතවේදියාණන් විසින් මේ ගීතය ඇසුරෙහි ගොඩනඟනු ලැබ ඇති අයුරු, එය යළි ශ්‍රවණය කරන්නකුට නිසැක ව වටහා ගත හැකි වේ.

No comments:

Post a Comment