Wednesday, February 13, 2013

උදුම්බරා හිනැහෙනවා

හඳුනාගත්තොත් ඔබ මා....

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා..

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා..

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා...
සිනා කදුළු වගුරනවා

ආදරයේ.. ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ මා....

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි....
උදුම්බරා කඳුළු සළයි....
කදුළු සළයි... කදුළු සළයි..
____________________________________
ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය ‍: ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර

"ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...."

මා කුඩා කළ මේ වචන පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත්, ඒ තේමා පාඨය ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය. එය එකල චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි. මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ බණ්ඩාර කේ විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක් කියවමින් සිටියදී ය.

එහි සඳහන්ව තිබූ දේවල් ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ , මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ බව සිහි වූයේ බණ්ඩාර කේ විජේතුංගයන්ගේ කෘතිය නිසාය. ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත් අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති හෙයිනි.

බඹරු ඇවිත් සිනමා කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස, ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා....

ඉර අඳුරට හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට සංගීතයත්, චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත් අපට දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.

මහ මුහුද, මහ මුදේ හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අ‍ඳෝනා ‍ මුහුදේ නිතර වෙනස් වන ස්වභාවය ඔස්සේ කේමදාස සිය සංගීතයට හසුකර ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර “මහ මුහුද” සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි. විටෙක මුහුදේ ඇති නිසල බවත්, තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ මතු දැක්වෙන කොටසනි.

“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා....”

චිත්‍රපටයේ කතා පුවත සමග සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.

කේමදාස ඒ සඳහා ටී.එම් ජයරත්නගේ ගායනය මෙන්ම අයිවෝ ඩෙනිස්ගේ ගායනයද එකපිට එක නැගෙන මූදු රළ හා අනුගත වෙමින් ගායන හඬ මුසු කරවයි. වරෙක ටී.එම්.ගේ හඬ උච්ඡ ස්වරයෙන්ද අයිවෝගේ හඬ මන්ද්‍ර සවරයකින්ද සංගීතයට හසුකර ගන්නේ මූද මෙන් ව්‍යාකූල වු ධීවරයන්ගේ ආත්මය ප්‍රකාශ කිරිමටය.

මීට පෙර දවසකද මා සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය වූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග අරගල කරන සුනිලා අබේසේකරගේ එදා තිබූ තියුණු ගායන ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුලින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.

No comments:

Post a Comment