Wednesday, February 13, 2013

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සිහිනය මිය යා යුතු ද මේ ලෙසින්..?

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිමි
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
__________________
පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
ගැයුම - ප්‍රදීපා ධර්මදාස සමඟ ලක්ෂ්මන් විජේසේකර

මේ මහා විශ්වය විස්මිතය. එතුළ ගැබ්ව ඇති ආදරය නම් හැඟීම සුන්දරය. මේ සුන්දරත්වය එකම විශ්වීය මායා ජාලයකි. සොබා දහමේ සැබෑ සොඳුරු බව දකින්නට පවා ආදරයේ ඇස් ඕනෑ කෙරේ.

ආදරයේ ඇස්වලට ආපු විරහ කඳුළේ සොඳුරු පටලය ලෝකයේ මේ සොඳුරු බව දකින්නට තුන් වැනි ඇසකට කාචයක් තනා දෙතැයි මට සිතෙයි. ලොවේ සොඳුරු බව ඒ තුන්වැනි ඇසට කවදාවත් මුවා නොවෙයි.

නමුත් ආදරයට එහා නොගිය ආදරයට - මෙහා නොවන තවත් අපූරු හැඟුමක් ලෝකයේ තිබෙයි. මේ සොඳුරු ළෙන්ගතුකමේ අරුත සපුරාම හකුළුවා ලන වචනය ‘මිතුරුදම’ යැයි කියන්නත් බැරි ය. මක්නිසා ද එහි අරුත මිතුරු දමකට වඩා සියුම් වන බැවින් ය. ඊට වඩා උතුම් වන බැවින් ය.

ප්‍රේමය පිළිබඳ ව විරෝධාකල්ප නිර්මාණයෙන් ද අතරින් පතර මුණ ගැසෙති. හැත්තෑව දශකයේ ගැයුණු එබඳු නිර්මාණයක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

“මං හින්දා ඔබ නෙතඟින් කඳුළක්
හෙළන් නෙපා
මං හින්දා ඔබ හද තුළ සුසුමන්
නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවළක් සේ කිසිදා එක් නොවනා

(ගුණදාස කපුගේ සමඟ මාලිනි බුලත්සිංහල)

එසේම ගුණදාස කපුගේ සහ නන්දා මාලිනිය ගැයූ පහත සඳහන් පදමාලාව ද එබන්දකි.

පි - බිරිඳ මගේ ඔබ
ගැ - නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයෙකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ

මේ ගී දහරාව අතර, එඩ්වඩ් ජයකොඩි නන්දා මාලිනී ගැයූ ‘විසඳුමක් නැත ලෝකයෙන්’ නැමැති ගීත ය ද බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නද කොහේ ඉන්නද? වැනි ගීත ද සදා සිහිවටන ලෙස පවතී. එසේ ම අජන්තා රණසිංහයන්ගේ පහත සඳහන් පදමාලාව ද ප්‍රේමය පිළිබඳ නව්‍යතම ආකල්පයකි.

“පාරමී දම් පුරමු අප දෙන්නා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මවු කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙන්නා”

දෙදෙනෙකු අතර ඇතිවන්නට හැකි උතුම්ම බැඳීම මේ ළෙන්ගතුකම යැයි සිතන්නට පුළුවන් ය. අපේ සංස්කෘතිය අනුව ගැහැනියක හා පිරිමියකු අතර මේ ළෙන්ගතුකම දිහා වපර ඇස’කින් බැලෙන්නට කාරණා ඇත. නමුත් ආදරයට වඩා සුපවිත්‍ර වූ සුනිර්මල වූ හැඟීමක් ලෙස ඒ ළෙන්ගතුකම නිර්වචනය කරනු කැමැත්තෙමි. ‘ආදරයට අනුරාගය මුසුවෙයි. අනුරාගය කෙළෙස් හැඟීමකි. නමුත් මේ ළෙන්ගතුකම තුළ ඒ කිළිටි ගෑවිලාවත් නැත. උදෑසන පිනිකැටයක් සේ එය සැහැල්ලු ය. විනිවිද පෙනේ. දුක හෝ සතුට සමව බෙදාගැනේ. රාගික චේතනාවෙන් තමාගේ ඉඳුරන් සන්තර්පනය කරගන්නා රාගය වැනි අශ්ලීල හැඟීමක් මෙහි නොවෙයි.

ඔබත් මාත් අතර ඇත්තේ එවැනි හැඟීමක් යැයි මම අදහමි. එය මේ ලෝකයේ ඇති සුන්දරම හැඟීම ය. අබමල් රේණුවක් තරම්වත් මේ හැඟීමේ උත්තරීතරත්වය කෙළෙසන්නට එපාම ය. අපි දෙදෙනා ආදරවන්තයන් නොවෙමු. නමුත් අප එකිනෙකාට ආදෙර්ය. ඔබ මගේ ය. මා ඔබගේ ය

මේ ප්‍රේමයේ විකල්ප ගී දහරාව අතරට අසූව දශකයේ එක් වූ අපූර්ව ගීයක් ලෙසින් ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර ගයන ‘සුපෙම් හැඟුම්’ නැමැති ගීතය එක් කළ හැකි ය.

මෙහිදී තරුණයා ගේ ප්‍රේමය ප්‍රතික්ෂේපිත ප්‍රේමයක් බවට පත් වෙයි. එහෙත් ඇය ඔහුගෙන් දුරස්වීමට උත්සාහ නොගනියි. ඈ තුළ මිතුරු දමක් ඉතිරි ව පවතී. ඒ මිතුරු බවේ නාමයෙන් ඇය ඔහුට පෙම්වතියක් නොවුණ ද මඟ පෙන්වන්නියක් බවට පත් වීමට උත්සාහ දරයි. එය ද එක්තරා උත්තම පරිත්‍යාගයකි. ඒ සඳහා මනරම් කාව්‍යොක්තියක් රචකයා විසින් පද මාලාවට එක්කොට තිබේ. එනම් ඔහු ඈත සමුදුරේ නෞකාවක් නම් තමා පහන් ටැඹක් වන්නට සූදානම් බවයි.

“සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

මේ දුරස්ථ හිතෛශීභාවය කෙසේ නම් නිර්වචනය කරම් ද? මා නෞකාවක් වී පාවෙන්නේ, පාවී යන්නේ මෑත ගොඩබිමේ ඇති පහන්ටැඹ වන ඔබගේ ආලෝකයෙනි.

ඔබ මගේ ප්‍රදීපස්ථම්භයයි. තරු එළියක් නැති රාත්‍රි කාලයේ දැඩි සිතකින් මේ ගමන යාගන්නෙමි. ගමන දුරය. වෙහෙසකර ය. නමුත් ලෝකයේ කොතැනක හෝ සිට ඔබ මදෙස බලාසිටියි. අපට හමුවීමේ සිහිනයක් නැත. එසේ ම ඒ සිහිනය මරා දැමිය යුතු ද නැත. මක්නිසා ද ඒ සිහිනය ඉබේ ම මියැදෙන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා ය.

හිරු නැගී එනවිට මට ඔබේ රුව පෙනෙන්නේ නැත. එවිට මට හුදෙකලාවේ වේදනාව පසක් වෙයි. පාළුවේ වියරුවෙන් ඉකිබිඳිමින් සිටිද්දී යළිත් ඔබ පෙනෙන්නේ රාත්‍රිය උදා වන විට ය. ඈත සිට ඔබේ නෙතු පහන් දැල්වෙනු බලාගෙන මට මගේ ගමන යා හැකි ය.

එහෙත් ඇගේ තීන්දුවෙන් ඔහු ගේ හිත පෑරෙයි. ඔහුට අවශ්‍යවන්නේ ඒ මිතුරු දමට එහා යන ළබැඳියාවකි. ඒ නිසා ඔහු ඔහුගේ ජීවන නෞකාව පැදවීමට ඇය පහන් ටැඹක් බවට පත්කර නොගනී. ඔහු සිත දැඩිකර ගෙන තරු එළියෙන් තම ගමන ආරම්භ කරයි. ඔහු ලද මානසික ආතතියේ බරපතළකම ඉතා මැනවින් ස්පර්ශ කිරීමට මෙහිදී රචකයා සමත් වේ.

“තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

මෙහිදී ඔහුගේ පරාජිත බව මෙන් ම පරාජිත බව ඉදිරියේ සිත දැඩි කර ගැනීමට ගන්නා උත්සාහය ද රචකයා මනාව ප්‍රතිනිර්මාණය කරයි.

ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. ඇතැම් විට ඇයට පෙම්වතකු සිටිනවා විය හැකි ය. නොමැති නම් ඇය ආලයෙන් බැට කෑ එකියක විය යුතු ය.

එහෙත් ඇය නපුරු යුවතියක නොවේ. ඇයගේ හදවත ද ඔහු වෙනුවෙන් කම්පාවෙයි. තමා වෙනුවෙන් වැළපෙන, තම ප්‍රේමය ඉදිරියේ හඬා වැටෙන මේ පුද්ගලයා අමතක කර දැමීමට ඇය සූදානම් නැත. ඇය හුදෙකලාවට පෙම් බඳින නමුත් ඔහු ව සිහිපත් කරන්නී ය.

ළං කර නොගත්ත ද ඔහුව දුරින් හෝ දැක ගැනීම ඇගේ අභිප්‍රායයි. ඇගේ යටි සිත තුළ ඔහු කෙරෙහි ළෙන්ගතු කමක් පවතී. එහෙත් ඔහුට ළං වීමට නොහැකි, පරිසරයක් ඈ වටා නිර්මාණය වී තිබේ. එහෙත් හිරු අවරට යන සන්ධ්‍යාවක තමා වෙනුවෙන් වැළපෙන මේ හුදෙකලා ආත්මය වෙනුවෙන් කඳුළක් සැලීමට ඇය අමතක නොකරයි.

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්...

ගීතය අවසානයේ ඉතා දැඩිව අනුකම්පාවට හසුවන්නේ මේ පරාජිත තරුණයා ය. එහෙත් ඔහුගේ පරාජිත බව ඉදිරියේ මේ තරුණිය ද්වේෂයට ලක් නොවීම විශේෂත්වයකි. එසේ ම මේ අනුභූතිය යෞවනයට පමණක් ම සීමා නොවන්නකි. ජීවිතයේ විවිධ වයස් මට්ටම්වලදී ප්‍රේමය හා බැඳුණු මෙබඳු අත්දැකීම විඳ ගැනීමට මනුෂ්‍යයාට සිදුවෙයි. ඒ නිසා ම රචකයා ගේ අනුභූතිය වැළඳ ගැනීම ඇති ඉඩ පරාසය වැඩිවෙයි.

කපිල කුමාර කාලිංගයන්ගේ මේ අදහස අපූර්වත්වයක් ජනනය කරවන ඉසියුම් සිතුවිලි දහරාවකට මඟ පාදා දෙයි. දෙදෙනෙකු අතර ඇති මෙවැනි සොඳුරු සබැඳියාවන් ලෝකයේ මොනතරම් ඇත්ද? ඔහු මේ ගැන කීවේ මෙලෙසයි.

“අසූව දශකයේ අග වගේ තමා මේ ගීය ලියැවුණේ. රෝහණ වීරසිංහයන් ගීත අටක් නිර්මාණය කළා. ඒ සඳහා දුන් නිර්මාණයක් මේක. ඇත්තටම මෙහි තේමාව වන්නේ ‘සියල්ලටම අනතුරුව ඉතිරි වන්නේ අපූරු මිනිස් සබඳතා පමණක් ය’ යන මා දරන අදහස වෙන්නැති. මෙය බොහෝ දෙනෙකුට ගෝචර වන අත්දැකීමක්. ගීතය ගැයුවේ ගුරුවරයා සහ ශිෂ්‍යාවක වීමත් විශේෂයි. එවකට ලක්ෂ්මන් සංගීත ගුරුවරයෙක්. ප්‍රදීපා සංගීතය හදාරන සිසුවියන් රෝහණ වීරසිංහයන් ගේ අපූරු තනුවත් මේ දෙදෙනාගේ ගායනයත් මගේ පදමාලාවට ආලෝකයක්." කපිල පවසන්නෙ එලෙසින්..

පද රචනයට අමතර ව මෙහි ගායනය හා සංගීතය පිළිබඳ ව සඳහන් කළ යුතු යැයි මට හැඟේ. ප්‍රදීපා ගේ හඬ ශ්‍රාවකයා හඳුනාගන්නේ මුලින් ම වේදිකාවෙනි. එහෙත් ඇගේ මධුර හඬින් ඈ උපරිම ප්‍රයෝජනය ගත්තා යැයි මම නොසිතමි. මේ ගීතය පමණක් නොව ‘දූවිලි’ ‘විනේ කටින උන්’ ආදී ගීත ද ඇගේ මනරම් ගැයුම් ය.

මේ ගැන ප්‍රදීපා ධර්මදාස මේ ගීතය ගැන බොහොම තෘප්තිමත් හැඟීමෙන් කතා කළේ.

“1995 දී තමා මේ ගීය මගේ සංගත තැටියට ඇතුළත් වුණේ. ප්‍රේමය කියන දෙය සම්ප්‍රදායික විවාහයකින් කෙළවර විය යුතු ය යන්නයි අපේ පොදු මතය. නමුත් මෙතැන ඊට වඩා වෙනස් වූ සම්බන්ධතාවයන් ජීවිතවල අපට හමුවෙනවා සොඳුරු ඇසුරු ඕනෑ තරම්. ඒත් ඒවා ආදරය නෙමෙයි. ඊට වඩා සුන්දර වෙන්න පුළුවන්. රාගික චේතනාවලින් කෙලෙස් නැති මෙවැනි ඇසුරු සමාජයේ තිබෙනවා. රසිකයෝ බොහොම ආදරයෙන් මේ ගීතය වැළඳගත්තා. ලක්ෂ්මටත් මටත් මේ ගීතය ගයන්නටම විදේශ රටවල සංදර්ශනවලට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ තරමට ම එය මිනිසුන්ට සමීපයි.”

ලක්ෂ්මන් විජේසේකරයන් ද ගීතය ගැන පැවසුවේ එබඳුම අදහසක්.

ලක්ෂ්මන් විජේසේකරයන් සතුව ඇත්තේ කෙනෙකුට කලාතුරකින් පිහිටන විපුලම්භයට නැඹුරු වූ කටහඬකි. ඔහුගේ එක්තරා ගීයකින් මා තරුණ කළ නැළවුණෙමි. වැළපුණෙමි.

“දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්”
(ලක්ෂ්මන් විජේසේකර)

මේ පද රචනයට මේ දෙදෙනාගේ හඬ සම්මිශ්‍රණය අත්වැලක් වී තිබේ. රෝහණ වීරසිංහයන් වඩාත් උනන්දුවෙන් මෙහි තනු නිර්මාණය කර ඇති බවක් මට හැඟීයයි. එය ඒ තරමට ම පද මාලාව සමඟ බද්ධ වෙයි.

ඉතින්, රසික හදවත්වල ඇතුළාන්තයට ගලා ගොස් ඔවුන්ගේ බුද්ධියට අමතන්නට රස පහස අවදි කරවන්නට රෝහණ වීරසිංහයන්ගේ අපූරු සංගීතයත් මොනවට යෙදී ඇති ආකාරය ඔබත් විඳිනවා ඇති. ජීවිතේ සුන්දරය. බොහෝ විට හුදෙකලාව ළඟ එය වඩාත් සුන්දර ය. සොඳුරු බැඳීම් ඈතින් තිබුණත් සිතට සුන්දර ය. ළඟට ළං වූවිට දැනෙන ‘ගින්දර’ දැනෙන්නේ නැති නිසා ය. සිත පෙළන හුදෙකලාවේ පාළු, සීතල, ඈත පෙනෙන පහන් ටැඹක ආලෝකයෙන් උණුසුම් වනවිට ලෝකයේ ඇති පරම පවිත්‍ර බැඳීමක සුන්දරත්වය ඔබට විඳින්නට ලැබෙයි. ඔබ දුර ය... ඒ නිසා ම හදවතට වඩාත් ම ළඟ ය...!

ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.

එසේ ම දුරින් සිට අපට එළිය දෙන අය කොපමණ සිටිත් ද? ප්‍රදීපාගාරයක ආලෝකය පෙනි පෙනී ඉවත බලාගෙන තරු එළියෙන් ජීවිත ඔරුව පැදීමට ඔහු ගන්නේ සාර්ථක උත්සාහයක් ද? ආදරය නොමැති නම් මෙසේ කෙනකුට දුරින් සිට ආලෝකය ගෙනදිය හැකි ද? මේ ගීතය ඇසෙන හැම විට ම ම සිත පැනයක් ඉතිරි වෙයි. මෙබඳු සුපෙම් හැඟුම් පිරි සිහිනය, මේ අයුරින් මිය යා යුතු ද?

No comments:

Post a Comment